දැරණියගල පොලීසිය විසින් වාර්තා කළ පරිදි, දෙල්ඔලුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී, මවගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කර 18 හැවිරිදි දියණියක පැහැරගෙන යාමේ චෝදනාවට ලක්ව සිටි පෙම්වතා ඇතුළු තරුණයන් දෙදෙනෙකු බෝර 12 ගිනි අවියක් සමඟ ජනවාරි 12 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විමර්ශන වලට අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙහිඕවිට මානික්කන්ද සහ කදන්ගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස අවුරුදු 18 සහ 19 බව හෙළි වී තිබේ.
මෙම සිද්ධියේ වින්දිතයා වන්නේ දැරණියගල, දෙල්ඔලුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවියකි. ඇය තම මව සමඟ ජීවත් වන අතර, දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සමඟ දිගු කලක සිට රහසිගත ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත. මෙම සබඳතාව පිළිබඳව දැනගත් සිසුවියගේ මව ඊට දැඩි ලෙස විරුද්ධත්වය පළකර, එය වහාම නතර කරන ලෙස දියණියට උපදෙස් දී තිබේ.
කෙසේ වෙතත්, මවගේ විරෝධය නොතකා සිසුවිය තම ප්‍රේම සබඳතාව දිගටම පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව පාසල් අධ්‍යාපනයද අතහැර දමා ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක රැඳී සිට ඇත.
ජනවාරි 12 වන දින, දියණිය නැවත පාසල් යැවීමේ අරමුණින් මව අත්තනගල්ල ඥාති නිවසට ගොස් ඇය රැගෙන දැරණියගල,
දෙල්ඔලුව නිවස බලා බස් රථයෙන් ගමන් කරමින් සිටියදී, සිසුවිය රහසිගතව තම දුරකථනයෙන් පෙම්වතාට අමතා තමන් මව සමඟ නිවසට පැමිණෙන බව දන්වා ඇත.
මෙම තොරතුර ලැබීමෙන් පසු, පෙම්වතා විසින් තම 18 හැවිරිදි මිතුරෙකු සමඟ එක්ව එම දින රාත්‍රියේ සිසුවියගේ නිවසට ගොස්, නිවසේ දොර විවෘත කරවාගෙන මවගේ හිසට ගිනි අවියක් තබා බිය ගන්වා සිසුවිය පැහැරගෙන යාමට සැලසුම් කර තිබේ.
සිද්ධියෙන් පසු සිසුවියගේ මව විසින් දැරණියගල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව, පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු වලින් පසු ජනවාරි 13 වන දින 19 හැවිරිදි පෙම්වතා සහ ඔහුගේ 18 හැවිරිදි මිතුරා බෝර 12 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජනවාරි 14 වන දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබිණි.
මෙම සිද්ධිය පිළිබඳව දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර, පාසල් සිසුවියන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි දෙමාපියන්ගේ අවධානය යොමු විය යුතු බව පොලීසිය අවධාරණය කරයි. තවද, ගිනි අවි භාවිතයෙන් සිදු කරන අපරාධ වැළැක්වීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බවද වැඩිදුරටත් දන්වා සිටී.
0 Comments