සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසට පසුගිය දෙසැම්බර් 28 වැනිදා සවස එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පියා හා පුතු ඇතුළු දෙදෙනකු මියගොස් ඇති අතර, තවත් එක් අයෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව සිටී. මෙම ප්‍රහාරය පාතාල කල්ලියක් විසින් මුදල් කොන්ත්‍රාත්තුවකට සිදුකළ එකක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.
සිද්ධිය වූයේ පසුගිය දෙසැම්බර් 28 වැනිදා සවස 5.40 ට පමණය. සුදු පැහැති කරීනා වර්ගයේ මෝටර් රථයකින් පැමිණි සිව් දෙනකුගෙන් යුත් පිරිසක් ටී 56 ගිනි අවි දෙකකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාරයෙන් 53 හැවිරිදි නාගල්ලගේ ටෙරන්ස් ප්‍රසාද් ප්‍රනාන්දු නම් වැඩිමහල් පුත්‍රයා එම ස්ථානයේදීම මියගොස් ඇත.
ප්‍රහාරයට ලක්වූ 74 හැවිරිදි පියා වන නාගල්ලගේ නොයෙල් ප්‍රනාන්දු මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජනවාරි 6 වැනිදා මියගොස් ඇත. තවද, 45 හැවිරිදි නාගල්ලගේ සම්පත් වසන්ත ප්‍රනාන්දු නම් බාල සහෝදරයා බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිස් විමර්ශනවලට අනුව, සිද්ධිය සිදුවන අවස්ථාවේ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරයා වාහන අංගණයේ තිබූ බැකෝ යන්ත්‍රයකට ඉන්ධන දමමින් සිට ඇත. සන්නද්ධ පිරිස පළමුව ඔවුන් දෙදෙනාට වෙඩි තබා, පසුව මීටර් 50ක් පමණ දුරින් පිහිටි නිවසේ කාමරයක නිදා සිටි පියාට ද වෙඩි තබා ඇත.
ප්‍රහාරයෙන් පසු සන්නද්ධ පිරිස පලා යාමට භාවිතා කළ මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරයක් අසල නතර කර භූමිතෙල් වත්කර ගිනි තබා ගොස් තිබේ.
ප්‍රදේශවාසීන් සහ ආයෝජන කලාපයේ ගිනි නිවන රථයක් මැදිහත්වී එම ගින්න නිවා දමා තිබේ.
පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති කරුණු අනුව, මෙම ප්‍රහාරය ජපානයේ සිටින දකුණේ කුප්‍රකට පාතාල මත්කුඩු ජාවාරම්කරුවකු සමඟ ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක කෙරේ. විශේෂයෙන්ම බාල සහෝදරයා ජපානයෙන් මෙරටට වාහන හා වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරත වී සිටි අතර, ඔහු කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ඔහුගේ බිරිඳ ජපන් ජාතික කාන්තාවක් බව ද වාර්තා වේ.
මියගිය වැඩිමහල් සහෝදරයා සීදුව ප්‍රදේශයේ බස් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර, පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටියේය. කෙසේ වෙතත්, මෙම පවුලේ සාමාජිකයන් මීට පෙර කිසිදු තර්ජනයකට ලක් නොවී ඉතා සාධාරණව ජීවත් වූ පිරිසක් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේමරත්න මහතා, මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා සහ මීගමුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි දිස්ත්‍රික් 04 ජනක කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
සැකකරුවන් අතර කාන්තාවක් වැනි අයෙකු ද සිටි බවට සාක්ෂිකරුවෙකු පොලිසියට වාර්තා කර ඇති අතර, ඒ පිළිබඳව ද විමර්ශන පැවැත්වෙයි.
මෙම ප්‍රහාරය දකුණේ පාතාලයේ වැඩක් විය හැකි බවට ද පොලිසිය සැක පහළ කර තිබේ.
පොලිසිය පෙන්වා දෙන්නේ මීට මාස කීපයකට පෙර අතුරුගිරිය ටැටූ ආයතනයේදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට එල්ල වූ ප්‍රහාරය ද මෙම ආකාරයෙන්ම සිදු වූ බවයි. එම ප්‍රහාරය සඳහා ද සුදු පැහැති මෝටර් රථයකින් සන්නද්ධ පුද්ගලයන් සිව් දෙනකු පැමිණ ටී 56 අවි දෙකක් යොදාගෙන ප්‍රහාරය එල්ල කර තිබූ අතර, එම ප්‍රහාරය ලොකු පැටී විසින් එල්ල කළ බව පසුව හෙළි විය.
0 Comments