
විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විදුලිබල මණ්ඩලය හෝ ඊට අනුබද්ධ ආයතන කිසිවක් පෞද්ගලීකරණය නොකරන බව තහවුරු කර සිටියේය. මෙම ප්‍රකාශය සිදු කළේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූ පරිදි, මෙම ආයතන ජාතික ස්වාධිපත්‍යයේ වැදගත් අංගයන් ලෙස සලකා රජයේ සම්පූර්ණ හිමිකාරීත්වය යටතේ පවත්වාගෙන යනු ඇත. "බලයට පැමිණීමට පෙර සිටම අප මෙම ආයතන විකිණීමට එරෙහිව කටයුතු කළා. අපගේ එම ප්‍රතිපත්තිමය ස්ථාවරය අදත් නොවෙනස්ව පවතිනවා," යැයි ඔහු අවධාරණය කළේය.
බලශක්ති හා මූල්‍ය ක්ෂේත්‍රයන්හි රාජ්‍ය අධිපත්‍යය සහ හිමිකාරීත්වය සුරැකීමේ අවශ්‍යතාව මැතිවරණයට පෙර සිටම තම පක්ෂය අවධාරණය කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන බව පැවසීය.
ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ එමගින් සිදු කෙරෙන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම යන අංශ වෙන් කිරීම පමණක් බවයි. "මෙම සියලු අංශ සියයට සියයක්ම රජය සතු සමාගම් ලෙස පවතිනු ඇති අතර, කිසිදු කොටසක් පෞද්ගලික අංශයට පවරනු නොලැබේ. මේ නිසා ආයතනවල අනාගතය මෙන්ම සේවක රැකියා සුරක්ෂිතතාවද අප විසින් තහවුරු කරනු ලබනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ලක්විජය බලාගාරයේ වැදගත්කම අවධාරණය කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය රටේ දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සපුරන බවයි. මෙම සැලකිය යුතු දායකත්වය හේතුවෙන් බලාගාරය ඉහළම තාක්ෂණික ප්‍රමිතීන්ට අනුව නඩත්තු කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
බලාගාරයේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ සිය සතුට පළ කළ අමාත්‍යවරයා, එහි ඉහළ කළමනාකාරීත්වය හා සේවක මණ්ඩලයේ කැපවීම විශේෂයෙන් අගය කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන) නාලක විජේකෝන් මහතා, බලස්ථාන කළමනාකරු ජී.ඩබ් බමුණුසිංහ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් අමාත්‍යවරයා සමඟ එක්ව සිටියහ.
Comments