දෙහිවල ප්‍රදේශයේ පදිංචි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මියගේ සැමියා වන හේමජීව මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නායකත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර තිබේ.
වෛද්‍ය පාරේ පදිංචි 62 හැවිරිදි හේමජීව මහතා පසුගිය ජනවාරි 01 වැනිදා පෙරවරුවේ සුපුරුදු පරිදි තම ත්‍රීරෝද රථයෙන් රැකියාවට පිටත්ව ගොස් ඇති අතර, එදින රාත්‍රියේ නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දුරකථන ඇමතුම් කිහිපයක් ලබාදී තිබුණි. කෙසේ වෙතත්, එම ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ අතර, අවසානයේදී දුරකථනයට පිළිතුරු දී ඇත්තේ දෙහිවල පොලිස් නිලධාරියෙකි.
දෙහිවල හීල් වීදියේ පිහිටි නීතීඥවරියකගේ නිවස ඉදිරිපිට මාර්ගයේ පුද්ගලයෙකු වැටී සිටින බවට එම නීතීඥවරිය විසින් දෙහිවල පොලිසියට දන්වා ඇති අතර, රාත්‍රී මුර සංචාරයේ නියුතු පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් බලද්දී එම පුද්ගලයා බීමතින් සිටින බව හඳුනාගෙන එතැනින් පිටව ගොස් තිබේ. කෙසේ වෙතත්, දිගු වේලාවකට පසු නැවතත් නීතිඥවරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව 1990 ගිලන් රථ සේවයෙන් පැමිණි නිලධාරීන් පිරිසක් එම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හේමජීව මහතා මියගොස් ඇති අතර, ඔහුගේ සිරුරේ බරපතල තැලුම් තුවාල හා හිසෙහි අධික ලෙස ලේ වහනය වී ඇති බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ ප්‍රධාන වෛද්‍ය ඒ. දයාපාල මහතා ප්‍රකාශ කර තිබේ.
මියගිය හේමජීව මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ එක් දියණියක් වෛද්‍ය පීඨයේත් අනෙක් දියණිය ඉංජිනේරු පීඨයේත් අධ්‍යාපනය ලබයි. ඔහු දිවා කාලයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී රාත්‍රී කාලයේදී ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස සේවය කර ඇත.
"මගේ මහත්තයා කාටවත් කරදරයක් නැතිව ජීවත් වූ කෙනෙක්. මහත්තයාට වෙච්ච දේ මට දරාගන්න බැහැ. මහත්තයාට නිල් වෙන්න පහරදීලා තියෙනවා. මහත්තයාට කව්රුහරි පිරිසක් පහර දුන්නද කියලා මට සැකයි" යැයි මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය පවසයි.
බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා පවසන පරිදි, සිද්ධියට අදාළව පැය එකහමාරක පමණ කාලයක් තුළ මියගිය පුද්ගලයා ගත කළ ස්ථාන සහ සම්බන්ධ වූ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණයක්ද සිදුකරමින් පවතී.
විශේෂයෙන් සැකසහිත කරුණු කිහිපයක් කෙරෙහි පොලිස් අවධානය යොමු වී තිබේ. පළමුවැන්න නම්, මියගිය පුද්ගලයා වැටී සිටි නිවසේ පදිංචි නීතිඥවරියගේ නිවසේ එදින රාත්‍රියේ සාදයක් පැවැත්වී තිබීමයි. එම සාදය පවත්වා ඇත්තේ නීතිඥවරියගේ සැමියා කටාර් රාජ්‍යයට පිටත්ව යාමට පෙර බව වාර්තා වේ. දෙවැන්න නම්, මියගිය පුද්ගලයාගේ ත්‍රීරෝද රථය මාර්ගයේ නතර කර තිබූ ආකාරයයි.
නීතිඥවරියගේ නිවස පිහිටා ඇත්තේ මාර්ගයෙන් ඇතුළට වන අතර, ත්‍රීරෝද රථය නතර කර තිබී ඇත්තේ මාර්ගය අයිනේය.
මියගිය පුද්ගලයාගේ සිරුරෙන් අසූචි පිටවී තිබූ බවද පොලිසිය වාර්තා කරයි. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, මෙම මරණය ඝාතනයක්ද, දිවිනසා ගැනීමක්ද යන්න තීරණය කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඒ සඳහා විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් කුමාර වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටී.
මෙම සිද්ධියේ සැකසහිත තත්ත්වයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර, විශේෂයෙන් සී.සී.ටී.වී. දර්ශන ඇතුළු සාක්ෂි රැස්කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, ඇයගේ සැක සංකා නිවැරදි කිරීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව පොලිසිය පවසයි.
0 Comments