166-million-year-old-dinosaur-footprints-discovered-in-Britain

එක්සත් රාජධානියේ සිදු කරන ලද සුවිශේෂී පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් ගැන විදෙස් මාධ්‍ය විස්තර පළකර තිබෙයි. එයින් කියැවෙන්නේ, මධ්‍යම ජුරාසික යුගයට අයත් වසර මිලියන 166ක් පැරණි ඩයිනොසර පා සලකුණු 200ක් පමණ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි ගල් කැඩීමේ වලකදී හමුවී ඇති බවයි. මෙම ස්ථානය දැන් එක්සත් රාජධානියේ විශාලතම ඩයිනොසර පා සලකුණු ස්ථානය ලෙස හඳුනාගෙන ඇත.



ඩිවර්ස් ෆාම් කොරි හි යන්ත්‍ර ක්‍රියා කරවමින් සිටියදී ගැරී ජොන්සන් නම් ගල්වල සේවකයෙකු අසාමාන්‍ය උස්තැන් දැක ඇති අතර, ඒ අනුව 2024 ජූනි මාසයේදී පර්යේෂකයින් හා ස්වේච්ඡා සේවකයින් 100කට වැඩි පිරිසක් සහභාගී වූ පුළුල් කැණීම් කටයුත්තක් සිදු කෙරිණි.

මෙම පා සලකුණු මාර්ග පහක් ප්‍රධාන වශයෙන් පවතින අතර, දිගම මාර්ගය මීටර් 150ක් (අඩි 492) පමණ වේ. මෙම පා සලකුණු ප්‍රධාන වශයෙන් ඩයිනොසර විශේෂ දෙකකට අයත් වේ: මාංශභක්ෂක තෙරොපොඩ් වන මෙගලොසොරස් සහ ශාකභක්ෂක දිගු ගෙල සහිත සොරොපොඩ් වන සෙටියොසොරස් ඒ අය යයි විද්‍යාඥයින්ගේ අනුමානයයි.


මාංශභක්ෂක හා ශාකභක්ෂක ඩයිනොසරයන් එකම මාර්ග ඔස්සේ ගමන් කර ඇති බවට සමහර පා සලකුණු සාක්ෂි දරන බැවින්, මෙම සොයාගැනීම මෙම පුරාණ සතුන්ගේ හැසිරීම් හා අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි.

මෙම ස්ථානය උෂ්ණ මුහුදු හා මඩ විල්වලින් සමන්විත වූ එම කාලයේ පරිසරය පිළිබඳ දැක්මක් ලබා දෙමින්, මධ්‍යම ජුරාසික යුගයේ ඩයිනොසර ජීවිතය පිළිබඳ අපගේ අවබෝධය වැඩි දියුණු කරයි.



මෙම සොයාගැනීම ලේඛනගත කිරීමේදී නවීන තාක්ෂණය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. පර්යේෂකයින් ඩ්‍රෝන ඡායාරූප හා ත්‍රිමාණ ආකෘතිකරණ තාක්ෂණය භාවිතා කරමින් පා සලකුණුවල විස්තරාත්මක වාර්තා සකස් කර ඇති අතර, එමගින් මෙම වැදගත් සොයාගැනීම අනාගත අධ්‍යයනය හා මහජන සහභාගීත්වය සඳහා සංරක්ෂණය කර ඇත.

මෙම සොයාගැනීම ඩයිනොසර හැසිරීම පිළිබඳ අපගේ දැනුම පමණක් නොව පෘථිවියේ ඓතිහාසික අතීතය සොයා ගැනීමේදී දිගටම සිදු කෙරෙන පුරාවිද්‍යාත්මක පර්යේෂණවල වැදගත්කමද පෙන්නුම් කරයි.