16-people-hospitalized-after-two-buses-collide-in-minneriya-area

හබරණ-මින්නේරිය මාර්ගයේ හත්වන කණුව ප්‍රදේශයේදී අද (29) උදෑසන ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුර සිදුව ඇත්තේ ද්විත්ව වංගුවක් සහිත ස්ථානයක දී වන අතර, තුවාල ලැබූවන් අතර ලංගම බස් රථයේ මගීන් 12 දෙනෙකු සහ පෞද්ගලික බස් රථයේ මගීන් සිව් දෙනෙකු සිටිති.

අනතුරට ලක් වූ බස් රථ වන්නේ බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයකි.

පෞද්ගලික බස් රථය කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගී වීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට යමින් සිට ඇති අතර,

එහි මගීන් 35 දෙනෙකු ගමන් කර ඇත. තුවාල ලැබූ කර්මාන්තශාලා සේවකයින් සිව් දෙනා අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.

තුවාල ලැබූවන් පොළොන්නරුව සහ හබරණ රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරට හේතුව බස් රථ දෙකම අධික වේගයෙන් ධාවනය කිරීම බව මින්නේරිය රථ වාහන පොලිසිය පවසයි. ලංගම බස් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂයෙන් සඳහන් කළ යුත්තේ තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන යාමට මාර්ගයේ ගමන් කරමින් සිටි විදේශිකයින් ද සහය දී ඇති බවයි.