clean-sri-lanka-bus-strike

 මගී ආරක්‍ෂාවට තර්ජනයක් වන අයුරින් මගී ප්‍රවාහන බස් රථවල සවිකර ඇති අනවශ්‍ය සැරසිලි කොටස් ඉවත් කිරීමට ලබාදුන් සහන කාලය මාස 3කින් දීර්ඝ කිරීමට එකඟතාව පළවීම හේතුවෙන් ඊයේ (08දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට බස් සංගම් තීරණය කළේය.





බස් සංගම් ප්‍රධානීන් හා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර ඊයේ (08දා) පොලිස් මූලස්ථානයේ පැවති සාකච්ඡාවෙන් පසු බස් සංගම් එලෙස තීරණය කළේය.

පොලිසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ සූදානමින් සිටියේය.

එවැනි පසුබිමක් තුළ බස් සංගම් ප්‍රධානීන් ඊයේ පෙරවරුවේ වැඩබලන පොලිස්පතිවරයා සමග සාකච්ඡාවක නිරත විය.

බස් සංගම් ප්‍රධානීන් සහ පොලිස්පතිවරයා අතර පැවති සාකච්ඡාවේදී මූලික කාරණා කීපයකට දෙපාර්ශ්වය එකඟ වූ බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

පොලිසිය පැත්තෙන් සාධනීය විසඳුමක් ලැබුණු නිසා බස් වර්ජනය අත්හැරි බවද හෙතෙම කීය.

බරපතළ ගැටලුවක්ව පවතින, බස් රථ තරගයට ධාවනය කිරීම අවම කිරීම සඳහා ඒකාබද්ධ කාලසටහනක් මාස තුනක් ඇතුළත සකස් කරන බවට ද මෙහිදී රජයේ පාර්ශ්වය එකඟ වූ බවද හෙතෙම කියා සිටියේය.



බස් රථවල අමතර සැරසිලි උපාංග ගැලවීමට මාස තුනක සහන කාලයක් ලබාදීම, බස් රථ ස්ටිකර් නොගැලවීම, ධාවනය වන අවස්ථාවේ මගීන් සමග මහමඟ බස් රථ නතර කිරීම සීමා කිරීමටත්, එලෙසම එම අවස්ථා මාධ්‍යයට දමා බස් රථ කර්මාන්තයට හා මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි ක්‍රියාකිරීම නතර කිරීමටත් පොලිසිය එකඟ වූ බවද ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

අනතුරුවලට අතවනන බස් රථවල මෙම අනවශ්‍ය සැරසිලි, උපාංග මාස තුන ඇතුළත බස්හිමියන් ගලවා දැමිය යුතු බවත්, එසේ නොවුණ හොත් පොලිසිය විසින් ඊට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බවත් මෙහිදී බස්හිමියන් වෙත වැඩ බලන පොලිස්පතිවරයා පවසා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ප්‍රධානීන්, පළාත් ප්‍රවාහන බලධාරීන්, බස් රථ සේවක සංගම් ප්‍රධානීහු සහභාගි වූහ.