මහනුවර දවුලගල ප්‍රදේශයේදී සිදුවූ පාසල් සිසුවියක් පැහැරගැනීමේ උත්සාහයක් දැක එය වළකන්න උත්සාහ දැරූ තරුණයාට විශේෂ ප්‍රනාමයක් පුද කර තිබේ.
අකුරණ ප්‍රදේශයේ රැකියාවක නියුතු 24 හැවිරිදි තරුණයෙකුගේ නිර්භීත ක්‍රියාවෙන් එම පැහැරගැනීමට බාධා ඇති විය. රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා සිදුකළ මෙම පැහැරගැනීමේ උත්සාහය පොලිස් මෙහෙයුමෙන් පසු වැළකිණි.
මේ අවස්ථාවේ මැදිහත්වූ තරුණයාට බරපතල තුවාල සිදුවී ඇත.
දවුලගල ඇම්බැක්ක ප්‍රදේශයේ පදිංචි අර්ෂාඩ් අහමඩ් නම් මෙම තරුණයා, සිය රැකියාවට යාමට බස් රථයක් බලා සිටියදී මෙම සිද්ධිය දැක ඊට මැදිහත්ව ඇත. හපුගහයටතැන්න ප්‍රදේශයේදී උපකාරක පංතියකට යමින් සිටි අවුරුදු 18ක් වයසැති පාසල් සිසුවියක් කළු පැහැති වෑන් රථයකින් පැහැරගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ඇය බේරා ගැනීමට ඉදිරිපත්වූ අතර,
ඒ සඳහා සිය ජීවිතය පරදුවට තබා ක්‍රියා කර තිබේ.
සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අම්පාර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, පැහැරගැනීමට යොදාගත් වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. වාහනයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අර්ෂාඩ් අහමඩ් පැවසූයේ, "පාසල් සිසුවියක් පැහැරගැනීමක් බව තේරුම් ගත් වහාම මම වැඩට යන එක පැත්තක දමා වෑන් රථය දෙසට දිව්වා. ඒ වනවිට සිසුවිය වෑන් රථය තුළට දමා තිබුණා. මම ගිහින් පැහැරගන්නාගේ ඇඟේ එල්ලුණා. ඔහු මට පහර දුන්නත් මම අත් නොහැර සිසුවිය එළියට ගැනීමට උත්සාහ කළා" යනුවෙනි.
සීසීටීවී දර්ශනවල සටහන්ව ඇති පරිදි, තරුණයා පැහැරගන්නන්ට පහර දෙමින් සිසුවිය බේරා ගැනීමට උත්සාහ දරා ඇත. වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හා වෑන් රථයේ සිටි පුද්ගලයෙකු විසින් තරුණයා තල්ලු කිරීම හේතුවෙන් ඔහු වෑන් රථයෙන් ඇද වැටී තිබේ.
සිය අත්දැකීම විස්තර කරමින් අර්ෂාඩ් මෙසේ පැවසීය: "මේ පැහැර ගැනීම මොනවාටද වෙන්නේ කියලා මම දන්නේ නෑ මම ගිහින් පැහැරගන්නාගේ ඇඟේ එල්ලුණා. ඔහු මට පහර දුන්නත් මම අත් නොහැරියා. සිසුවිය එළියට ගැනීමට උත්සාහ කරද්දීම වෑන් රථය ඉදිරියට ගියා. මම එල්ලී සිටි නිසා ඔවුන්ට දොරවල් වසා ගැනීමටත් නොහැකි වුණා. පැහැරගන්නා මට පහර දෙමින් සිටියදී මම අල්ලාගෙන සිටි අත කැපුණා. පසුව මාව වෑන් රථයෙන් තල්ලු කර එළියට දැමුවා. වෑන් රථය වේගයෙන් ධාවනය වන අතරතුර මම පාරට වැටුණා. මට තුවාල සිදුවුණා."
සිද්ධිය අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ දර්ශනවලට අනුව,
අර්ෂාඩ් සිය කරේ තිබූ බෑගය පවා බිම දමා වෑන් රථය වෙත දිවගොස් එහි එල්ලී සිටිමින් පැහැරගන්නන් සමග පොරබදා ඇත. වෑන් රථය වේගයෙන් ගමන් කරමින් තිබියදීත් ඔහු එහි එල්ලී සිටි අතර, පැහැරගන්නන්ට දොරවල් වසා ගැනීමටත් නොහැකි වී තිබේ. අවසානයේ ඔහුට පහර දී වෑන් රථයෙන් පාරට විසි කර දමා ඇත.
මෙම සිද්ධියේදී අර්ෂාඩ්ගේ අත්, කකුල්, මුහුණ සහ ඇඟිලි තුවාල වී ඇත. වෑන් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු සිටි බව ඔහු පවසයි.
සමාජයේ අපරාධ වැළැක්වීමට සීසීටීවී කැමරා වැදගත් මෙවලමක් වන නමුත්, සාක්ෂිකරුවන්ට සිදුවන අපහසුතා හේතුවෙන් බොහෝ දෙනා ඒවා භාවිතයෙන් වැළකෙන බව සිද්ධිය සටහන්ව තිබූ කැමරාවේ හිමිකරු වන මොහොමඩ් අරූෂ් මහතා පෙන්වා දෙයි. මෙවැනි සිදුවීම්වලදී සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි.
දවුලගල ප්‍රදේශයේදී සිදුවූ පාසල් සිසුවියක් පැහැරගැනීමේ උත්සාහයක් වැළැක්වීමට නිර්භීතව ඉදිරිපත් වූ තරුණයා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ප්රණාමයක් පුද කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක් මගින් මෙම ප්‍රණාමය පළකර ඇත.
අකුරණ ප්‍රදේශයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරන මොහොමඩ් ඉසදීන් අර්ෂාඩ් අහමඩ් (25) නම් මෙම තරුණයා, සිය රැකියාව සඳහා පිටත්ව යමින් සිටි අවස්ථාවේ මෙම සිදුවීම දැක ඊට මැදිහත්වීම නිසා ප්‍රණාමය පුද කෙරිණි.
පොලිසිය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර ඇති විශේෂ ප්රණාම සටහනේ, මෙවැනි නිර්භීත ක්‍රියා මගින් සමාජයේ අපරාධ වැළැක්වීමට පුරවැසියන් දක්වන දායකත්වය අගය කොට තිබේ. සිය ජීවිතය පරදුවට තබා සිසුවියක් බේරා ගැනීමට ඉදිරිපත්වීම විශේෂයෙන් අගය කොට ඇත.
මෙම සිදුවීම සමාජයේ පුළුල් අවධානයට ලක්ව ඇති අතර, සාමාන්‍ය පුරවැසියන්ගේ නිර්භීත ක්‍රියා මගින් අපරාධ වැළැක්වීමේ වැදගත්කම පිළිබඳ සංවාදයක් ඇති කර තිබේ. විශේෂයෙන්ම තරුණ පරපුර තුළ මෙවැනි සමාජ වගකීම් පිළිබඳ හැඟීම වර්ධනය වීම සුභවාදී ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය.
පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර, සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය. මේ අතර, අර්ෂාඩ් තරුණයාගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක් කරමින් විවිධ සමාජ සංවිධාන හා පුද්ගලයන් ඉදිරිපත්ව සිටිති.
0 Comments