හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළි වරක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ. පෙරේදා (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියකට මාරු කළ ඔහු, පැය කිහිපයකින් අසනීප බව දැන්වීමෙන් පසු පැමිණි වෛද්‍යවරයා දුමින්ද සිල්වා පරීක්ෂා කර ඔහුට නැවත රෝහල්ගතවීමට අවසරය දී ඇති අතර ඒ නිර්දේශය මත මෙලෙස රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් බන්ධනාගාර රෝහලේ සිට ඔහු සාමාන්‍ය සිරමැදිරියට මාරු කරන ලද්දේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියෝග අනුව ඔහුට රෝහල්ගතවීමට අවශ්‍යතාවක් නැතැයි වෛද්‍ය කමිටුවක් මගින් කළ පරීක්ෂණයකින් පසු ලබාදුන් නිර්දේශ අනුවයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටින දුමින්ද සිල්වා මීට පෙර කොළඹ පෞද්ගලික රෝහලක සහ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබා ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාව ලැබීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කළ ඔහු, එම සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසු නැවත සිරගත කළත් එම අවස්ථාවේ සිට රෝගාතුර වී දිගින් දිගටම රෝහල්ගතව සිටී.
දුමින්ද සිල්වාගේ රෝහල්ගතවීම සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් අති කළ සිද්දියකි. මේ නිසාම
මීට දින හතකට පමණ පෙර, බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා විසින් දුමින්ද සිල්වා ප්‍රතිකාර ලැබූ බන්ධනාගාර රෝහල් වාට්ටුවේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කරමින්, ඔහුට විශේෂ වරප්‍රසාද ලැබෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබිණි. රැඳවියන් 50කට අධික පිරිසක් සමග අංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව එහිදී අවධාරණය කෙරිණි.
එම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වනවිට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියෝග අනුව ඔහුට රෝහල්ගතවීමට අවශ්‍යතාවක් තිබේද යන්න පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබූ අතර එහි නිර්දේශයවී තිබුනේ එවැන්නක් නැති බවයි.
බන්ධනාගාරය බාර වෛද්‍යවරයා නැවත කළ පරීක්ෂාවේදී ඔහු රෝගී බව සොයාගෙන තිබේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.
0 Comments