duplicate-handunneththi-court

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම හා රුව භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් වංචනික ලෙස මුදල් එක්රැස් කළ බව කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා ඊයේ (30දා) අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ බැංකු වාර්තා කැඳවන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


කර්මාන්ත ව්‍යවසායකත්ව හා සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම විය.කිසියම් පිරිසක් තමාගේ නම හා රුව ප්‍රදර්ශනය කරමින් වස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලක් අනුව එම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.


එම සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන සිදු කරමින් පවතින බවත් ඊට අදාළව ඔවුන්ගේ බැංකු වාර්තා කැඳවීම සඳහා අවසර ලබා දෙන ලෙසත් එම විමර්ශන නිලධාහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.එම විමර්ශන නිලධාහු අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළේය.
(කුමුදු උපුල් ශාන්ත)