gampola-incident

නව වසරේ උදා­වත් සමඟ බෙදා හැරී­මට සීනි කරිඤ්ඤං පෙර­මින් සිටි කසිප්පු ජාවා­ර­ම්ක­රු­වෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට ගිය ගම්පොළ පුපු­රැස්ස පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මනෝ රන්ජන් මහ­තා ත්‍රිරෝද රථ­ය­කට යට කර ඝාත­නය කිරී­මට උත්සාහ දැරී­මක් සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.



ත්‍රිරෝද රථ­යට යට කිරී­මෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ගම්පොළ ශික්‍ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

ගම්පොළ පන්වි­ල­තැන්න ප්‍රදේ­ශයේ නම ගිය අප­රා­ධ­ක­රු­වකු විසින් කාල­යක් තිස්සේ මහා පරි­මා­ණ­යෙන් සීනි කරිඤ්ඤං සකස් කොට බෙදා හැරීමේ ජාවා­ර­මක නිර­තව සිටින බව පොලී­සිය සඳ­හන් කරයි.

මීට පෙර අවස්ථා හත­ර­කදී මෙම ජාවා­රම වැට­ලී­මට ගිය ගම්පොළ හා පුපු­රැස්ස පොලිස් ස්ථාන­වල සේවයේ නිරත නිල­ධා­රීන්ට පහර දී පොලිස් ජීප් රථ­ය­කට ද හානි කළ අයකු බවද පොලී­සිය කියයි.

ඒ සම්බ­න්ධ­යෙන් මහ­නු­වර මහා­ධි­ක­ර­ණයේ නඩු­වක් ද තිබි­යදී මොහු මෙම ජාවා­රම අත­නො­හැර සිදු­ක­ර­මින් සිටින බවද පොලී­සිය සද­හන් කරයි.

මොහුගේ සහෝ­ද­ර­යන්ද කාල­යක් තිස්සේ මෙම සීනි කරිඤ්ඤං අලෙ­වියේ නිරත වන බවද පොලී­සිය සඳ­හන් කරයි.

වරක් මොහුගේ සීනි කරිඤ්ඤං වැට­ලී­මට පොලිස් නිල­ධා­රීන් ගිය අව­ස්ථාවේ දරුණු ගණයේ රොට් වය­ලර් වර්ගයේ බල්ලෙක් පොලී­සිය වෙත උසි­ගන්වා තිබුණි. ඒම අව­ස්ථා­වේදී වෙඩි තැබී­මක්ද සිදුව තිබුණි.



නව වසරේ බෙදා හැරී­මට මෙම ජාවා­ර­ම්කරු සීනි කරිඤ්ඤං පෙර­මින් සිටින බවට පෙරේදා (31) රාත්‍රී කාලයේ ලැබුණ තොර­තු­ර­කට අනුව පුපු­රැස්ස පොලිස් ස්ථානා­ප­ති­ව­රයා ඇතුළු නිල­ධා­රීන් හය දෙනකු එම ජාවා­රම සිදු කරන ස්ථානයේ සැඟවී සිට ඇත. ‘නිලමේ’ නමැති මෙම සැක­කරු ඔහුගේ පුතකු සමග ත්‍රිරෝද රථ­ය­කින් පැමිණ බෝතල් විස්ස බැගින් වූ කෑන් තුනක් ත්‍රිරෝද රථ­ය­කට පන­වන අයුරු එහිදී පොලිස් කණ්ඩා­ය­මට නිරී­ක්ෂ­ණය වී තිබේ.

පොලී­සිය ඒ සම­ගම සැඟවී සිටි තැනින් එම ස්ථාන­යට කඩා පනින විට සැක­කරු මාර්ග­යෙන් පහ­ළට පැන දිව ගොස් ඇත.



ඒ සමඟ ත්‍රිරෝද රථයේ රියැ­දුරු අසුනේ සිටි සැක­ක­රුගේ පුතා විසින් පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව එම ත්‍රිරෝද රථ­යෙන් හප්පා තිබේ. එහිදී තුවාල ලැබූ ස්ථානා­ධි­ප­ති­ව­රයා මාර්ග­යෙන් ඉව­තට පැන සිය ජීවි­තය බේරා­ගෙන ඇත.

ඒ සම­ගම ත්‍රිරෝද රථය රැගෙන සැක­ක­රුගේ පුතා පලා­ගොස් ඇති අතර සැක­ක­රුද සීනි කරිඤ්ඤං කෑන් දමා අඳු­රේම පලා­ගොස් තිබුණි.

මෙහිදී සෙසු පොලිස් නිල­ධා­රීන් පැමිණ වෙනත් ත්‍රිරෝද රථ­ය­කින් පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ගම්පොළ රෝහ­ලට රැගෙන ගොස් ඇතු­ළත් කර ඇත.

සැක­කාර පියා හා පුතා මේ වන විට සැඟවී ඇති අතර ගම්පොළ හා පුපු­රැස්ස පොලිස් ස්ථාන මඟින් පොලිස් කණ්ඩා­යම් යොදවා ඔවුන් සොයා මෙහෙ­යු­මක් අරඹා තිබේ.
(ගම්පොළ - සුරංග දිල්හාන්)