බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිවයාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍යවරියට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එකොළොස් දෙනෙක් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. එම බඹරුන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනකුට වෛද්‍ය සායනය සඳහා පැමිණ සිටි කාන්තාවන් අට දෙනකුට හා පිරිමිත් තිදෙනකු මෙන්ම වෛද්‍ය සායනය පැවැත් වූ වෛද්‍යවරියට ද ප්‍රහාරයක් එල්ල කර ඇත.අටබාගේ කලවැල්ගොල්ල ප්‍රදේශයේ ගසක බැඳ තිබූ බඹර වදයකට උකුස්සකු පහර දී ඇති බව ගම්මු පවසති.
එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවකට බඹරුන් අනිද්දී ඇය කෑගසමින් බඹරුන්ගෙන් බේරීම සඳහා මෙසේ රෝහල වෙත දිව ගොස් ඇති අතර එම අවස්ථාවේ රෝහල තුළ වෛද්‍ය සායනයක් පැවැත්වෙමින් තිබී වැඩි පිරිසක් එහි එක්ව සිට ඇත.කාන්තාව කෑගසමින් එම පිරිස වෙත යාමත් සමග ඇය පසුපස පැමිණි බඹරුන් ඒ සියලු දෙනාටම ප්‍රහාර එල්ල කර ඇත.
මේ පිරිස රෝහලේ ජනෙල් දොරවල් වසා ගෙන හා ගිනි ගොඩවල් ගසා බේරීමට උත්සාහ දරා ඇති අතර පසුව ගිලන් රථ දෙකක් රෝහල වෙත ගෙන්වා බරපතළ ප්‍රහාරයට ලක්වූ පිරිස ගම්පොළ රෝහල වෙත යවනු ලැබූහ.රෝහල අසල තිබූ වෙළෙඳසල්වල පිරිස්වලට ද බඹර තර්ජන එල්ල වීම සමග ඔවුන් ද වෙළෙඳසල් වසා ගිනි දල්වා දුම් ගසා බේරීමට උත්සාහ ගත් බව පැවැසීය. කඳුකර ප්‍රදේශය තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇති බඹර ගහනය නිසා වතුකම්කරුවන් ඇතුළු ජන ජීවිතයට විශාල ලෙස බලපෑම් එල්ල වී ඇති අතර බඹර ප්‍රහාර නිසා කිහිප දෙනකුම මේ වන විටත් මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
(සුරංග රාජනායක)
0 Comments