grade-5-exam-decision

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නඩු තීන්දුව අනුව කමිටු නිර්දේශ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කර තීරණයක් ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඊයේ (දෙසැ. 31) පැවසීය.



සියලු අංශ කෙරෙහි සලකා බලා සුදුසු ම විකල්ප ක්‍රියාමාර්ගය තෝරාගෙන විභාගයේ ඇගයීම් සිදුකර ප්‍රතිඵල කඩිනමින් ලබා දෙන බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

පිටු 68කින් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන්ට තනි තීරණයක් ගත නොහැකි බව කී හෙතෙම ජනවාරි 27 වන දා වන විට හයවන ශ්‍රේණියට සිසුන් ඇතුළත්ව සිටිය යුතු බැවින් ඊට පෙර සියලු දෙනාට පිළිගත හැකි තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරට ත් අදහස් දැක්වූ අමිත් ජයසුන්දර මෙසේද කීවේය.

“ශිෂ්‍යත්ව විභාගය පසුගිය සැප්තැම්බර් 15 වන දා පැවැත් වුණා. එදින විභාගයේ සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් ඊට පෙර සාකච්ඡා කළ බවට සමාජජාලා ඔස්සේ තොරතුරු ලැබුණා.

ඒ අනුව විභාගය සම්බන්ධයෙන් අපි යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. එහීදී විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට යම් යම් තීරණ ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුකර හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එම නඩු හතර ම ඒකාබද්ධව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළා. පිටු 68කින් සමන්විත එම තීන්දුව මාගේ අතට ලැබුණා. විභාගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම තීන්දුවෙන් මට දැනුම් දී තිබෙනවා. කමිටු නිර්දේශ කර තිබෙන විකල්ප ක්‍රියාමාර්ග තුන අතරින් වඩාත් සුදුසු ම ක්‍රියාමාර්ගය තෝරාගෙන, ඒ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා, සෑම පැත්තක් ගැන ම සලකා බලලා, වඩාත් සුදුසු ම තීරණය ගෙන ක්‍රියාත්මක කර, විභාගයේ ඇගයීම් සිදුකර ප්‍රතිඵල ලබා දෙන ලෙසට මට දැනුම් දී තිබෙනවා.

මේ වනවිට මම නඩු තීන්දුව දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් පවතිනවා. මේ පිළිබඳව කරුණු සොයාබලා ඉතා කඩිනමින් තීරණයක් ගෙන ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. කුමන නිර්දේශය ක්‍රියාත්මක කරන්නේද කියා මට එකවර කියන්න පුළුවන්කමක් නෑ. නැවතත් අධ්‍යයනයක් සිදුකරන්න ඕන. ඒ විකල්ප තුන අතරින් වඩාත් ම සුදුසු විකල්පය කුමක්ද කියා තවදුරටත් අධ්‍යයනය කළ යුතුයි.

පවත්නා තත්ත්වය පිළිබඳව ලොකු විග්‍රහයක් කරලා ඉතා කඩිනමින් තීරණයක් ලබා දෙනවා.”