
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය කරමින්, මෙම පරීක්ෂණ සඳහා රජය පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය. ඊයේ (25) දින හෝමාගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකදී ජනතාව ඇමතූ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා පැවසූ පරිදි, 2015 වසරේ සිට ඇතැම් පැමිණිලි පිළිබඳ විමර්ශන ලිපිගොනු දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාදයකින් යුතුව මෙහෙයවා ඇති අතර, දැන් ඒවා කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ. ඔහු තවදුරටත් අවධාරණය කළේ තමන් පරීක්ෂකයෙකු, නඩු පවරන්නෙකු හෝ නඩු විභාග කරන්නෙකු නොවන නමුත්, මෙම පරීක්ෂණ සිදු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම රජයේ වගකීම බවයි.
පසුගියදා සිදු වූ හිටපු අමාත්‍යවරයෙකු සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මාධ්‍ය වාර්තා වල සඳහන් වූ පරිදි එය හිටපු ඇමතිවරයෙකු සහ ඔහුගේ බිරිඳ නොව, හිටපු ඇමතිවරයා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය බව නිවැරදි විය යුතු බවයි. මෙය පසුගිය පාලන සමයේ පවුල් පාලනයේ ස්වභාවය පැහැදිලි කරන සිදුවීමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි වසර 16ක් පැරණි සිදුවීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, තාජුඩීන් ඝාතනය සම්බන්ධ අධිකරණ වෛද්‍යවරයා සහ විමර්ශන කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මියගොස් ඇති නමුත්, සාක්ෂි දිරාපත් වී ඇති තත්ත්වයක වුවද මෙම පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පූර්ණ නිදහස ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.
පොලිස් දෙපාර්තමේන්තුව සතුව විමර්ශන ලිපිගොනු 29,000ක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මූල්‍ය අපරාධ, මිනී මැරුම් විමර්ශන සහ මත්ද්‍රව්‍ය පිළිබඳ නව ඒකක පිහිටුවා ඇති බව ද සඳහන් කළේය.
නිල නිවාස භාවිතය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, වර්තමාන රජයේ කිසිදු ඇමතිවරයෙකු රජයෙන් නිල නිවසක් ලබාගෙන නොමැති බව පැවසීය. කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් සියලු ජනාධිපති මන්දිර සහ ඇමති නිල නිවාස රජයට පවරාගෙන ආර්ථිකයට දායක වන ආකාරයෙන් භාවිත කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.
හිටපු පාලකයින්ගේ නිවාස භාවිතය විවේචනය කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, පැල්පත්වාසීන්ට වර්ග අඩි 450ක නිවසක් ලබා දෙන විට, ඇතැම් හිටපු පාලකයින් වර්ග අඩි 30,000කට වැඩි නිවාස ඉල්ලා සිටින බවයි. කොළඹ නගර මධ්‍යයේ රුපියල් කෝටි 350ක වටිනා අක්කරයක් හා පර්චස් තුනක භූමි භාගයක පිහිටි නිවසක හිටපු පාලකයෙකු පදිංචි වී සිටීම සාධාරණීකරණය කළ නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යහපත් සම්ප්‍රදායන් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට කැප වී සිටින බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙවර අයවැයේදී ජනාධිපති අමාත්‍යාංශ සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය අඩු කර ඇති බව ද සඳහන් කළේය.
අවසාන වශයෙන් ජනාධිපතිවරයා අවධාරණය කළේ රටක් ලෙස පිරිසිදු වීමට මෙය වඩාත් සුදුසු අවස්ථාව බවත්, මහජන දේපළ සාංඝික දේපළ මෙන් සැලකීමේ හැඟීම සෑම පාලකයෙකු තුළම තිබිය යුතු බවත්ය. මෙම නව පරිවර්තනය වහාම ආරම්භ කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval