මෝටර් රථයක දමා ගෙන සිසුවෙකු පැහැර ගෙන ගොස්, බිය වද්දා එම සිසුවා සතුව තිබූ රුපියල් 67000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා මුහුණ ආවරණය කර සිටියදී ඉකුත් 30දා උසාවි භූමියෙන් පැන ගිය සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 29 හැවිරිදි පුද්ගලයෙකි.
කහටගස්දිගිලිය ප්රදේශයේ සිට අනුරාධපුරය නගරයේ පැවති පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වී යළි නිවස බලා යාමට සූදානම්ව සිටි සිසුවෙකු මෙලෙස බිය ගන්වා, සැකකරු ඇතුළු තිදෙනකු, එම සිසුවා සතුව තිබූ රුපියල් 67000ක මුදලක් ඉකුත් 25දා කොල්ලකා තිබූ බව පොලිසිය කියයි.
එම අපරාධ සිද්ධියට අදාළව සැකකරු ඉකුත් 29දා කොල්ලකෑම සඳහා යොදා ගන්නා ලද මෝටර් රථය සමග අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු මෙලෙස හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිම සඳහා මුහුණ ආවරණය කර උසාවි භූමියේ රඳවා සිට ඇති බව පොලිසිය කියයි.
එම නඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා නඩුව නිල මැදිරියේ කැඳවීමට නියෝග කර තිබියදී මෙලෙස සැකකරු අත්අඩංගුවෙන් මිදී ගොස් තිබූ බව පොලිසිය සදහන් කළේය.පලා ගිය සැකකරු යළි අත්අඩංගුවට ගෙන පෙරේදා (31) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට මහෙස්ත්රාත්වරයා නියෝග කළ බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
(බී.ජී. චතුරංග)
0 Comments