kurunegala-court

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කාගේ හෝ හොඳ හිතා දිනා ගන්නදැයි කුරුණෑගල පොලිසියෙන් ප්‍රශ්න කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර මැතිවරණ පෝස්ටර් අලවා ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ කාට හෝ බයේ දැයි විමසා සිටියේය.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස කුරුණෑගල පොලිසියේ නිලධාරීන්ගෙන් විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේදී ජනාධිපතිවරණ පනත උල්ලංඝණය වන අයුරින් එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමනාකරු කුරුණෑගල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.



ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කුරුණෑගල පොලිසියේ නිලධාරීන් අමතමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේද කීවේය.

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් කඩිමුඩියේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ යමෙකුගේ හොඳ හිත දිනා ගන්නද? යමෙකුගෙන් හොඳ නමක් දිනා ගන්නද? සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ බය නිසා ද? එසේත් නැති නම් හෙට අනිද්දා ඒ. එස්. පී. කෙනෙක් හෝ එස්. එස්.පී. කෙනෙක් පොලිසියේ යම් පරීක්ෂණයකට එනවද? ඒ නිසාද? යන්නයි.



සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල පොලිසියේ නිලධාරීන් පැවසුවේ, මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ප්‍රවර්ධනය කිරීමේ පෝස්ටර් අලවා ඇති බව ය.

ඒ තුළින් සැකකරුවන් ජනාධිපතිවරණ පනත මුළුමනින් ම උල්ලංඝණය කර ඇති බව ද පවසා සිටි පොලිසිය සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයිද ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ කුරුණෑගල පොලිසියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය උදෙසා මැතිවරණ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් තම සේවාදායකයන් අත්අඩංගුවට ගත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් එක් කොටසක් ලෙසද ? යන්නයි.

ජනාධිපතිවරණය නිම වී ඊට පසුව

මහ මැතිවරණයක්ද පවත්වා ඇති බව ද අවධාරණය කළ නීතිඥවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පමණක් නොව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ, සජිත් ප්‍රේමදාසගේ සහ දිලිත් ජයවීරගේ මැතිවරණ පෝස්ටර්ද දිවයින පුරා තමා දුටු බව ද කීවේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කිරීමේ කිසිදු පෝස්ටරයක් ජනාධිපතිවරණ සමයේ තම සේවාදායකයන් අලවා නැති බවද කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ ඔවුන් ඇලවූයේ රනිල් වික්‍රසිංහ කුලියාපිටියේදී ජන හමුවක් අමතන බව සඳහන් පෝස්ටරයක් පමණක් බවද ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට තම සේවාදායකයන්ට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද අධිකරණයට සැල කළ නීතිඥවරයා ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් වෙන් වෙන් වශයෙන් රුපියල් පනස් දහසක් වටිනා ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට නියෝග කෙරිණි.

මෙසේ ඇප මත මුදාහැරියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමනාකරු මෙන්ම වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නසීර් අහමඩ්ගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එච්.ඒ. නදීක හෙට්ටිආරච්චි සහ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක එන්. ලලිත් රවින්ද්‍ර කුමාර යන දෙදෙනාය.

   උපාලි ආනන්ද – අනුරාධපුර අධිකරණ