malimawa-incident

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට බිංගිරිය පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක් ඇතුළතදී බැණ තර්ජනය කළ පුද්ගලයන් දෙදෙනෙකු මෙම මස 7 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෙට්ටිපොළ අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.සී.ඒ. සලාම් මහතා ඊයේ (31) නියෝග කළේය.




බිංගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ඇඟලුම් කම්හලකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට පෙරේදා (30) පරුෂ වචනයෙන් බැණ වැදී සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.


සැකකරුවන් දෙදෙනා එම පෞද්ගලික ඇගලුම් ආයතනයේ කුලී පදනම මත රියැදුරන් ලෙස සේවය කරන අතර, එම ආයතනයේ ප්‍රවාහනය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සාකච්ඡාවකට ආයතනයට පැමිණි අවස්ථාවේදී ම

ෙලෙස බැණ වැදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.


සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.සැකකරුවන් දෙදෙනා බිංගිරිය පොලිස් වසමේ බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ලක්මාල් වික්‍රමආරච්චි මහතා අධිකරණයට කරුණු දැක්වීය.
(නන්ද එස්. ඒකනායක)