![man-arrested-for-stealing-golden-fence-and-12-lamp-lamp-from-dharmashoka-temple man-arrested-for-stealing-golden-fence-and-12-lamp-lamp-from-dharmashoka-temple](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-xdu_nVHWZ6N7JBpjTXTuCSElTZKpCJ6doz05MuHxDGIU-yb7WVdqEfjR2Ji4rFTMeWcgXMKzpU2O_hVOSwR1zHDS36lm-tNq3VAdm_XzbicWA6JO8bHmmQO9KNxcqPu_HKstpZQrOjaWltxb0E0MW2l5f6fQtmDcU1fHJpW60o5SU2imf_Wvr2Xj5Ho/s16000-rw/collage.jpg)
මාලබේ කහන්තොට ධර්මාශෝක විහාරස්ථානයේ බෝධිය වටා සවිකර තිබු රන්වැට හා අඩි හයක පමණ උසින් යුත් දොළොස්මහේ පහන සොරාගත් අපරාධ රැසකට සම්බන්ධ වලව් මහත්තයා නැමැත්තා අත්අඩංගුවට ගත් බව
මාලබේ පොලිසිය කියයි.එම සැකකරු සමග සොරාගෙන තිබූ රන් ආලේපිත කණු 41 ක්, පිත්තලවලින් නිමවන ලද දොළොස්මහේ පහන හා ඒවා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.රුපියල් 560,000/= ක් වටිනා රන් ආලේපිත පිත්තල කණු 80 න් 41 ක් මෙන්ම පිත්තල වලින් නිමවන ලද දොළොස්මහේ පහන ඉකුත් 26 වැනිදා රාත්‍රී 11.30ත් පසුදින අලුයම 5.00. ත් අතර කාලයේදී කිසියම් කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් ඇති බව විහාරස්ථානයේ වැඩ සිටින හල්මිල්ලෑවේ තිලක ජෝති හිමියන් පොලිසියට පැමිණිලි කර තිබිණි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මාලබේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කහන්තොට ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ සැක කටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදී ඊට පැය කිහිපයකට ඉහතදී කහන්තොට විහාරස්ථානයේ බෝධිය වටා ඉදිකර තිබූ රන්වැට සොරා ගත් පුද්ගලයා බවට අනාවරණය කරගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ මූලික විමර්ශනවලදී සොරකම සඳහා යොදාගත් ත්‍රිරෝද රථයද එම සොරකම සිදුකළ දින රාත්‍රියේ කොට්ටාව පොලිස් වසමේදි සොරාගත් ත්‍රිරෝද රථයක් බවට අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
සැකකරු මේ ආකාරයෙන් පාදුක්ක හෝමාගම කහතුඩුව ආදී ප්‍රදේශවල විහාරස්ථානවල බෝධි වටා ඉදිකර තිබෙන රන්වැටවල් හා ත්‍රිරෝද රථ සොරා ගැනීමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ පුද්ගලයකු බවට අනාවරණය කර ගැනීමට වැඩිදුරටත් හැකිවී ඇත.
35 හැවිරිදි සැකකරු රන්න වාඩිගල ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයකු ලෙස රැකියාව කරන්නෙකි. මාලබේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයමහ පොලිස් සැරයන් 6731 සරත් ඇතුළු නිලධාරීහු පරික්ෂණ පවත්වති.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments