matara-tree-prison

මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටී රැදවියකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනකු තුවාල ලැබීමේ සිද්ධියෙන් පසු එහි රැඳවියෝ 150 දෙනෙක් ආරක්ෂක පියවරක් ලෙස අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ඊයේ (21) මාරුකර යවනු ලැබූහ. බන්ධනාගාර බස්රථ තුනකින් ඔවුන් රැගෙන යෑම සඳහා අවශ්‍ය ආරක්ෂාව මාතර පොලිසියෙන් සැපයිණි.පෙරේදා (01) රාත්‍රී 10.45 ට පමණ සිදුවූ මෙම අනපේක්ෂිත සිද්ධියෙන් මරුමුවට පත්වූයේ වැලිගම මිදිගම වීරරත්න විජේනායක ආරච්චි හසන් චින්තක (32) නමැති රැඳවියෙකි.




අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියකට වරදකරු වී රුපියල් විසිදහසක දඩය ගෙවාගත නොහැකි වීම මත ඔහු මාස 02 ක කාලයක් සිර දඬුවම් නියම වී සිටි අයෙකි. දෙදරු පියකු වන ඔහුගේ දේහය භාර ගැනීම සඳහා බිරිඳ හා කුඩා දරුවෝ දෙදෙනා ද පවුලේ සාමාජිකයෝ ද මාතර මහ රෝහලට පැමිණියහ. රැඳවියන් රාත්‍රී නිදාගෙන සිටිය දී වසර 100 කට වඩා පැරැණි ගසේ අත්ත ජි. සහ එෆ්. වාට්ටු මතට කඩා වැටී තිබිණි.


එහිදී තුවාල ලැබූ රැඳවියන් 11 දෙනකු තවදුරටත් බන්ධනාගාර නිලධාරීන් භාරයේ මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය තත්වයේ පසුවන රැඳවියෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.මෙම සිදුවීමත් සමග මාතර බන්ධනාගාරය තුළ කලහකාරි තත්වයක් හටගෙන තිබූ අතර රැඳවියන් සිරමැදිරි හා වාට්ටු 20 ක පමණ ඉබි අඟුලු කඩා පිටතට පලා යෑමේ උත්සාහයක ද නිරත වූ බවට විශ්වාසනීය තොරතුරු වලින් වාර්තා වේ.




ඊට අමතරව ඔවුන්ගේ නඩුවල තොරතුරු ඇතුළත් ලිපි ලේඛන සහිත ලියාපදිංචි ලේඛන කාමරයට ද ගිනි තැබීමට සැලසුම් කර තිබූ බව බුද්ධි තොරතුරුවලින් වාර්තා වී තිබිණි.ඒ සමගම මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතා ක්ෂණිකව ක්‍රියාත්මක වී අවි ආයුධ ගබඩා කාමරයේ සියලුම පතොරම් තොග ඉවත් කිරිමට කටයුතු කර තිබිණි. ඊට අමතරව ඔහුගේ උපදෙස් මත ලියාපදිංචි ලේඛන කාර්යාලයේ ලිපි ගොනු සහ මානසික රෝගී සිරකරුවන්ට බෙහෙත් දෙන ඖෂධ කාමරයේ මත්වන ඖඖෂධ සියල්ල ද ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරින් පියවර ගෙන ඇත.


මියගිය රැඳවියා සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සඳහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ද ඊයේ (02) මාතර බන්ධනාගාරයට පැමිණියේය.එහිදී රාජ්‍ය දැව සංස්ථාවේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවක් කැඳවා ඒ අනුව ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.


මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මට්ටමින්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.ඒ පිළිබඳව සොයා බැලීමට බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ද මාතර බන්ධනාගාරය වෙත පැමිණියහ. එහිදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා මෙසේ පැවැසීය.


මේ පිළිබඳව අපි විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ ගසේ අනතුරුදායක අතු 2017 වසරේදීත් කපා ඉවත් කර තිබෙනවා. මේ බෝ ගස වැඳුම් පිදුම් කරන නිසා බොහෝ දෙනකු ගස කපන්න ඉදිරිපත් වෙන්න මැලිකමක් දක්වනවා.

ඒ කෙසේ වෙතත් කඩා වැටුණු අතු කපා ඉවත් කිරිමටත් අනතුරුදායක අතු ඉවත් කිරිමටත් අපි කටයුතු කරනවා. මියගිය රැඳවියාගේ පවුලේ සාමාජිකයන්ට වන්දියක් දිය හැකිදැයි නීතිමය කටයුතු වලදී සලකා බලනවා. දැනට වාට්ටු දෙකකට හානි සිදු වී තිබෙන නිසා රැඳවියන්ගෙන් කොටසක් වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට සැලසුම් කර තිබෙනවා. මෙම සිදුවීමේදී මාතර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධව ප්‍රශංසාව පුදකර සිටිනවා.


කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව සොයා බැලීමට මාතර අඩවි වන නිලධාරී සමන්ත ද සොයිසා මහතා ඇතුළු කණ්ඩායමක් ද සහකාර ප්‍රාදේශීය ලේකම් අනුර මහතා ඇතුළු කණ්ඩායමක් ද මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කැලුම් කුඩාගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් ද මාතර බන්ධනාගාරයේ සිරකරු සුබසාධන සංගමයේ සභාපති නන්දන ප්‍රේම කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් ද පුරාවිද්‍යා නිලධාරිහු ද පැමිණ සිටියහ.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)