mp-malimawa-inside-story

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කිරි කළයට මුලින්ම ගොම වැටුණේ ආචාර්ය පට්ටමක් නිසාය. තමන්ට හිමි නැති ආචාර්ය උපාධියක් නමට ඉස්සරහින් දාගත් බවට චෝදනා එල්ල වූ අශෝක සපුමල් රන්වලට අන්තිමේදී කථානායක පුටුවෙන් බැස යන්නට සිද්ධ වුණේය. දැන් යළිදු වරක් ආණ්ඩුවේ කිරි කළයට ගොම බිඳුවක් නොව ගොම තැම්බක් වැටී තිබේ.

ඒ ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරියක හා මන්ත්‍රිවරයකු අතර තිබෙන බව කියන අනියම් සබඳතාවක් නිසාය. එවැනි සබඳතා සෙසු දේශපාලන පක්ෂවලට අරුමයක් නොවීය. කොටින්ම කියනවානම් ලංකාවේ මුල්ම කථානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ සහ තෙවැනි අගමැති සර් ජෝන් කොතලාවල ස්ත්‍රී සමාගම්වල නිත්‍ය සාමාජිකයෝ වූහ.



එදවස කොතලාවලගේ කඳවල වලව්වට එන සුරූපී කතුන් පිරිස හැඳින්වූයේ ‘පර්පල් බ්‍රිගේඩ් හෙවත් දම්පැහැ සේනාංකය’ යනුවෙනි. කොතලාවල ගිය පාරේ නිතරම යන මාලිමා ආණ්ඩුවේ ද මන්ත්‍රිවරයෙක් ගැන කරුණු හෙළිදරව් වූයේ පිළියන්දල පොලිසියට ලද පැමිණිල්ලක් නිසාය. එම පැමිණිල්ල කර තිබුණේ මන්ත්‍රිවරයාගේ නීත්‍යනුකූල බිරිය ය. දැන ගන්නට ලැබී ඇති පරිදි ඇය මන්ත්‍රිවරයාගේ දෙවැනි විවාහයේ බිරිඳය. නීතිඥවරයකු වන මන්ත්‍රිවරයාගේ බිරිඳත් නීතිඥවරියකි.

සිය ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය මන්ත්‍රි සැමියා පරිහරණය කරන බවත් එම රථය කිසියම් නීති විරෝධි ක්‍රියාවන් සඳහා යොදවා ගන්නේ දැයි යන්න බලවත් සැකයක් පවතින බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

සිය සැමියා ජාතික ජනබලවේගේ මන්ත්‍රිවරියක සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත්, එම සම්බන්ධය නතර කරන ලෙසට අවස්ථා ගණනාවකදීම අවවාද කළ ද එය නතර නොකළ බව මන්ත්‍රිවරයාගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. මේ නිසා තමන් මවගේ නිවසට ගොස් පදිංචිව සිටින බවද ඇය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.



මේ සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණ වීමත් සමග ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ හිටපු සාමාජික වරුණ රාජපක්ෂ අනාවරණයක් කළේය. ඒ අනාවරණය කර තිබුණේ ඔහුගේ මුහුණු පොතේය.

‘‘නංගි පොලිසි යන්න කලින් අපි කිව්ව කතා කරලා විසඳගන්න කියලා. අපේ කාලේ නම් ඔහොම වුණේ නැහැ. ගෙදර ගිනි පිටට දුන්නෙම නැහැ. යනුවෙන් ඔහු සඳහන් කළේය. ජවිපෙ හිටපු සාමාජිකයා මේ කතාව හෙළි කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ප්‍රබල අයකු ගැනය. එම ප්‍රබලයා තරුණිය සමග අනියම් සබඳතාවක් ඇතිකරගෙන තිබුණේය.

මෙම සිද්ධිය මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ ඔහුට පක්ෂයෙන් පීඩනයක් එල්ල කරන විට එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට මැදිහත් වෙන්නෙ ඔහු බේරාගැනීම සඳහාය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කොට්ටාවේ නිවසක පැවැති අවස්ථාවේ ජවිපෙ ප්‍රබලයා කියන්නේ ‘‘මට කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කරගෙන යන්න ඉඩදෙන්න. මධ්‍යම කාරක සභාවෙන්ද ඉවත් වෙන්නම් යනුවෙනි. එම ඉල්ලීමද මාධ්‍යයේ පළවීම නිසා දැඩි ලෙස කළකිරෙන ජවිපෙ ප්‍රබලයා පක්ෂය අතහැර යන්නේ තමා කළ කතාවේ තිත්ත වේලෙන්නත් කලින් පත්තරේ වැටුණු නිසාය.

ඒ සිද්ධියට පසු දැන් ඔඩුදුවා ඇත්තේ මේ සිද්ධියය.

දැනගැනීමට ලැබී ඇති පරිදි නීතිඥ මන්ත්‍රිවරයාගේ බිරිඳ පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක ද හමුවී මෙම ප්‍රශ්නය විසඳන ලෙසට ඉල්ලීමක් කර තිබේ.

මෙම ප්‍රශ්නය නිසා මන්ත්‍රිවරයාගේ බිරිඳ රූපවාහිනි නාළිකාවල මනෝ විද්‍යාත්මක උපදෙස් දෙන දේශිකාවක් ද හමුවී මෙම ප්‍රශ්නයට උපදෙස් ගෙන ඇත්තේ ද මීට සති දෙකකට පමණ පෙරය. මේ තීරුවට දැන ගැනීමට ඇති පරිදි මන්ත්‍රිවරයා සමග තහනම් ගහේ ගෙඩිකන මන්ත්‍රිවරියට කට වසාගෙන සිටින ලෙස ඉහළින් දැඩිව පවසා තිබේ.
(උදයජීව - අරුණ)