කුරුණෑගල, මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය වසා තිබිය දී ඒ අතරින් ධාවනය කරවීමට උත්සාහ දැරූ දුර ගමන් සේවා පෞද්ගලික බසයක් සමඟ එහි රියැදුරු හා කොන්දොස්තර සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය කරවමින් තිබූ පෞද්ගලික බසයක් මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය දුටු මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාට කරන ලද පැමිණිල්ලකට අනුව එම බසය අත්අඩංගුවට ගෙන තිබේ.
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වන යාල්දේවි දුම්රියේ ගමනා ගමනය සඳහා දුම්රිය මාර්ගය වසා තිබියදී කුරුණෑගල දෙසට ධාවනය වූ රථවාහන, මාර්ගයේ වම්පස තීරුවේ පිළිවෙළට නවතාගෙන සිටියදී එම වාහන සියල්ලටම ඉස්සර කරමින් මාර්ගයේ දකුණු පස තීරුවෙන් අනාරක්ෂිත ලෙස මෙම බසය ධාවනය කරවා තිබූ බව පොලීසිය සඳහන් කළේය.
දුම්රිය එම ස්ථානය පසුකරනවාත් සමඟම ගේට්ටු විවෘත කිරීමටත් පෙර ඒ අතරින් මෙම බසය ධාවනය කරවා ඇත්තේ ඉදිරියෙන් පැමිණෙන රථවාහන වලට ද අනතුරක් සිදුවන ආකාරයටය.
එසේ අනතුරුදායක ලෙස ධාවනය කරවූ බසය, කුරුණෑගල මූලස්ථාන පොලීසිය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන එහි ගමන් කරමින් සිටි මගීන්ට කරුණු පැහැදිලි කරදී වෙනත් බස්රථවලින් පිටත් කර යැවීමට පියවර ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් බසයේ රියැදුරා හා කොන්දොස්තරවරයා මාර්ග නීතිරීති උල්ලංඝනය කරමින් ධාවනය කරවීම සහ චේතාන්විතව මගී ජීවිත අනතුරේ හෙළීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අත්අඩංගුවට ගෙන සිටින රියැදුරා බකමූණ ප්රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙම බසයෙන්ම දඹුල්ලේදී සිදු කරන ලද මාරක අනතුරකින් ඔහු අතින් පුද්ගලයකු මරණයට පත්ව ඇති බව ද අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩුව තවමත් අධිකරණයෙහි විභාග වෙමින් තිබීයදී තාවකාලික රියැදුරු බලපතක් ලබාගෙන නැවත එම බස් රථයේම රියැදුරා වශයෙන් කටයුතු කරමින් සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.
මාර්ග නීතිරීති උල්ලංඝනය කරමින් මේ ආකාරයට කටයුතු කරන රියැදුරන් සම්බන්ධයෙන් ඇති තොරතුරු වීඩියෝ දර්ශන මඟින් හෝ දුරකතන මඟින් හෝ පැමිණිලි කරන ලෙස කුරුණෑගල මූලස්ථාන පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
(පුෂ්පකුමාර ජයරත්න)
0 Comments