දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දරුවා පාඩම් නොකිරීමේ සිද්ධියක් මුල් කරගෙන ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් 27 හැවිරිදි අට මස් ගැබිනි මවකට ඊයේ (31) පහරදී ඝාතනය කර ඇතැයි පදවි ශ්‍රීපුර පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, පදවිය ශ්‍රී තිස්සපුර යාය 12හි පදිංචිව සිටි, චන්ද්‍රදාස මුදියන්සේලාගේ රුවන්ති මංගලිකා යන අයයි.
දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දරුවා පාඩම් නොකරන නිසා සැකකාර පියා දරුවාට යම් දඬුවමක් දී ඇති බවත්, එයට උරණ වූ ගැබිනි බිරිය ස්වාමිපුරුෂයා සමග බහින්බස් වී, සැකකාර ස්වාමිපුරුෂයා බිරියට පහරදීමෙන් ඇය බිම වැටී ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.දෙවැනි ශ්‍රේණියේ දරුවා එය දැක අසල්වාසීන්ට දැනුම් දීමෙන් පසු අසල්වාසීන් එක්ව ගැබිනි කාන්තාව ශ්‍රීපුර රෝහලට රැගෙන යෑමට කටයුතු කර ඇතත්, ඇය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
මළසිරුර පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි සැකකාර ස්වාමිපුරුෂයා ශ්‍රීපුර පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පදවි ශ්‍රීපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.
( පියදාස සමරවීර)
0 Comments