අසාමාන්‍ය ලැව්ගිනි ව්‍යසනයක් හේතුවෙන් බියට පත්ව සිටි නගරයක වැරදි ඉවත් කිරීමේ ඇඟවීම් හේතුවෙන් ඇතිවූ කලබලය සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් හි හදිසි අවස්ථා කළමනාකරුවෝ සිකුරාදා සමාව ඉල්ලා සිටියහ. බ්‍රහස්පතින්දා හවස සහ සිකුරාදා උදෑසන නැවතත් ජනතාවට පලා යාමට සූදානම් වන ලෙස උපදෙස් දෙමින් ජංගම දුරකථන මිලියන ගණනක ස්වයංක්‍රීය අනතුරු ඇඟවීම් නාද විය.
"මෙය ලොස් ඇන්ජලීස් කවුන්ටි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන හදිසි පණිවිඩයකි. ඔබේ ප්‍රදේශයේ ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත," යනුවෙන් බ්‍රහස්පතින්දා දින අනතුරු කලාපවලින් ඈත ප්‍රදේශවලට ද ඇතුළුව පුළුල් ලෙස ව්‍යාප්ත වූ පණිවිඩයේ සඳහන් විය.
"ඕනෑම තර්ජනයක් පිළිබඳව සැලකිලිමත්ව සිට ඉවත් වීමට සූදානම්ව සිටින්න. ආදරණීයයන්, සුරතල් සතුන් සහ අවශ්‍ය දේ රැස් කරගන්න."
ලොස් ඇන්ජලීස් හි පැසිෆික් පැලිසේඩ්ස් අසල්වැසි ප්‍රදේශයේ සහ ඇල්ටඩීනා අවට විශාල ගිනි අක්කර 35,000ක් දවා දමා ඇති අතර, ගොඩනැගිලි දහස් ගණනක් විනාශ කර දසදෙනෙකු මරණයට පත් කර ඇත.
දැනට කලාපය පුරා 153,000ක් පමණ දෙනා අනිවාර්ය ඉවත් කිරීමේ නියෝග යටතේ සිටිති.
මෙම පණිවිඩයෙන් විනාඩි 20කට පසු නිවැරදි කිරීමක් යවන ලද අතර, නගරයේ උතුරින් පැතිර යමින් තිබූ නව කෙනත් ගින්නට පමණක් අනතුරු ඇඟවීම අදාළ වූ බව එහිදී පැහැදිලි කරන ලදී.
කෙසේ වෙතත්, සිකුරාදා පාන්දර 4ට පමණ එවැනිම වැරදි පණිවිඩයක් නැවත යවා තිබිණි.
ලොස් ඇන්ජලීස් කවුන්ටි හදිසි කළමනාකරණ කාර්යාලයේ අධ්යක්ෂ කෙවින් මැක්ගොවන් පැවසුවේ ස්වයංක්‍රීය දෝෂ හේතුවෙන් කලකිරීම, කෝපය සහ බිය ඇති වී ඇති බවයි.
"මම කොතරම් කනගාටු වෙනවාද කියලා ප්‍රකාශ කරන්න බැහැ," ඔහු මාධ්‍යවේදීන්ට පැවසීය.
මෙතරම් විශාල පිරිසකට ඔවුන්ට අදාළ නොවන පණිවිඩ යැවීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට විශේෂඥයන් සමඟ කටයුතු කරන බව මැක්ගොවන් පැවසීය.
පෝල් ස්මිත් විද්‍යාලයේ ආපදා කළමනාකරණ සහය මහාචාර්ය ක්‍රිස් ෂීච් පැවසුවේ ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධති, විශේෂයෙන්ම ඒවා විශාල පරිමාණයෙන් කලාතුරකින් භාවිතා වන නිසා, සැමවිටම "ගැටළු සහ දෝෂ" වලට ලක්විය හැකි නමුත් ව්‍යසන අතරතුර මරණ සංඛ්‍යාව අඩු කිරීමේදී තවමත් ඒවා ඉතා වැදගත් වූ බවයි.
0 Comments