port-poteto-tender

 චීනයෙන් ආනයනය කර නිදහස් කරනොගත් කන්ටේනර් හතරක ගබඩාකර තිබූ අරිතාපල් කිලෝ ලක්‍ෂයක පමණ තොගයක් අඩු ලංසුවකට අලෙවි කර රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් කර ඇති බව වරාය අධිකාරි ආරංචි මාර්ග සදහන් කරයී.

මෙම අල තොගය පසුගිය 1 වැනිදා අලෙවි කර ඇති බවත් මෙම ටෙන්ඩරයේ දී අතරමැදි ගැනුම්කරුවකු කිලෝවක් රුපියල් 120 ක් වැනි අඩු ලංසුවක් ඉදිරිපත් කර ටෙන්ඩර් මණ්ඩලය ද එම මුදලට එකඟකරවා ගනිමින් වරාය තක්සේරුවටත් වඩා අඩු මිලකට ගෙන ඇති බවත් වරාය අධිකාරියේ ඇතැම් නිලධාරීහු පවසති.



මෙහිදී අල කන්ටේනර් දෙකක් දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ද අනෙක් කන්ටේනර් දෙක නමගිය තවත් ව්‍යාපාරිකයකු ද මිලදී ගෙන දෙවැනි අලෙවියේ දී විශාල ලාභයක් සමග අළෙවි කර ඇති බවත් මෙම සතියේ මෙරට සාමාන්‍ය වෙළෙඳපොළේ අල කිලෝවක සිල්ලර මිල රුපියල් 300 ත් 390 ත් අතර මිලක පැවැති බවත් ඔවුහු කියති.

කොළඹ කොටුව තොග වෙළෙඳපොළේ චීන අල කිලෝවක තොග මිල රුපියල් 220 ත් 240 අතර මිල පවතින බවත් ඒ අනුව මෙම ටෙන්ඩරේයන් අල තොගය අඩු මිලකට අලෙවි කිරීමෙන් රජයට දැවැන්ත පාඩුවක් වූ බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.



චීනයෙන් ආනයනය කරන අල දේශීය අලවලට බෙහෙවින් සමාන වීම නිසා එම අල දේශීය අල යැයි පවසමින් බොහෝ වෙළෙඳුන් අලෙවි කරන අතර දේශීය අල කිලෝවක මිල රුපියල් 370 ත් 390 ත් අතර පවතී.

මෙම අල තොග සතොස හෝ රජයේ වෙනත් ආයතනයක් හෝ හරහා අලෙවි කළේ නම් රජයට ලාභයක් සහ ජනතාවට සහනයක් දීමේ අවස්ථාව තිබූ බවත් මෙම දූෂිත ක්‍රියාව සඳහා ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයකු සෘජුවම බලපෑම් කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම අල ටෙන්ඩරය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතාගෙන් කළ විමසුමක දී පැවැසුවේ මෙවැනි ටෙන්ඩර්වල දී අදාළ භාණ්ඩයට මිල නියම කිරීම ශ්‍රී ලංකා රේගුව කරන බවත් එම මිලට වඩා අඩු මිලකට අලෙවි කිරීමට වරාය අධිකාරියට නොහැකි බවත්ය.


රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලි අරුග්ගොඩ මහතාගෙන් කළ විමසුමේ දී පැවසුවේ නිදහස් කර නොගත් කන්ටේනර්වල ඇති ආහාර ආනයනය කර අවම වශයෙන් මාසයක කාලයක්වත් ගතවී තිබීම නිසා සාමාන්‍ය වෙළෙඳපොළේ මිලට අලෙවි කළ නොහැකි බවත් ඒ හේතුවෙන් අනිවාර්යයෙන් සාමාන්‍ය වෙළෙඳපොළට වඩා අඩු මිලක් නියම කරන බවත්ය.
(යොහාන් භාසුර)