puttalam-police

 ඇස් බැඳලා මාංචු දාලා පාළු ගෙදරකට අරන් ගිහින්  අමානුෂික ලෙස පුද්ගලයකුට පහර දීමේ සිදුවීමක් පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මදුරන්කුලිය, වීරපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුවන් චාමර 29 නමැති එක්දරු පියෙකි.


පුත්තලම පොලිසියේ නිලධාරීන් පිසක් පසුගිය 29 වැනි දින කරන ලද දැනුම් දීමකට අනුව මොහු පොලිසියට යමින් සිටියදී සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාර්න් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇස් බැඳ කැලයකට හා පාළු නිවෙසකට ගෙන ගොස් පැය දහයකට වැඩි කාලයක් ඉතා අමානුෂික ලෙස පහර දී තිබේ.


පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් මේ පුද්ගලයාගෙන් විමසා ඇති අතර පසුව සී.සී.ටී.වී. කැමරාවක සටහන් වූ ඡායාරූපයක් පෙන්වා ඇත. තමනට මෙහිදී ඉතා අමානුෂික ලෙස පහර දුන් බවද රුවන් චාමර මහතා පැවැසීය.

මොකද්ද හේතුවක් කියලා තිබුණේ නැහැ. අම්මට කියලා ගිහින් තිබුණා පොලිසියට එන්න කියලා. ඒ අනුව තමයි මම පොලිසියට ගියේ.මම ගියේ අම්මයි තව යාළුවෙක් එක්කයි. එතැනදී එක පාරටම පැනලා මාව අල්ලගෙන ඇස් බැඳලා මාංචු දාලා පාළු ගෙදරකට අරන් ගියා. ඒ ගෙදරදී මට දෙන්න පුළුවන් දස වද ඔක්කොම දුන්නා. යටි පතුල්වලට ගැහුවා. බිම දිගේ ඇදගෙන ගියා. කකුල්වලට මාංචු දලා ඇස් බැඳලා ඇවිදින්න කීව්වා.


පැය කිහිපයක් එහෙම කළා. අන්තිමට කිව්වා මූට මෙහෙම මදි. වතුර කෝස් දෙමු කියලා. ඊට පස්සේ මාව අරන් ගියා තේක්ක කැලයකට. ඒ කැලේදී තමයි නහයට පාන්කඩ ඔබලා වතුර දැම්මේ. ඒ වෙලාවේ එක්කෙනෙක් මගේ බඩ උඩ නැඟගෙන හිටියා. තව දෙන්නෙක් පොලුවලින් ගැහුවා. මම එතැනදී ඉවසන් ඉන්න බැරිම තැන බොරුවට කිව්වා මම ගත්තා කියලා. නැත්නම් මාව මරනවා. එහෙම කිව්වම මාව නැවැත පාළු ගෙදරට ගෙනාවා. ඒ ගෙනෙල්ලා කෝ අපිට බයික් එක තියෙන තැන කියපන් කිව්වා. මම කීවා සර් මම කිව්වේ බොරු. ගහනවා ඉවසන් ඉන්න බැරි නිසා කියලා . එතැනදී මට ආයේ හොඳටම ගැහුවා.

එතැනදී එක්කෙනෙක් කිව්වා අපිට වැරැදිලා වගේ මූ නෙමෙයි කියලා. ඒ කියන්නේ මට දෙන්න පුළුවන් වද ඔක්කොම දුන්නට පස්සේ තමයි මේ අයට තේරුණේ මම නෙමෙයි කියලා, ඊට පස්සේ තමයි පොලිසියට අරන් ආවේ. ඒ ඇවිල්ලා පැනඩෝල් බොන්න දුන්නා.


මේ වන විට රුවන් චාමර හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුට ඇවිදීමට නොහැකි අතර ශරීරයේ ස්ථාන කිහිපයකම තැළුම් තුවාල දක්නට ලැබෙයි.මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රුවන් චමින්දගේ මවුපියන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් පුත්තලම සහකාර පොලිස් අධිකාරි මි ඇල්ලගෙ මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. පහර කෑමට ලක්වූ පුද්ගලයාගෙන් හා අදාළ පොලිස් නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද පැවැසීය.

හලාවත ප්‍රසාද් පූර්ණමාල්