පසුගියදා දකුණු කොරියානු ගුවන් අනතුරින් පසු ඉතා වැදගත් ආරක්ෂක කරුණක් සැලකිල්ලට ගනිමින් රත්මලාන ගුවන්තොටුපළේ ගාලු පාර අසල පිහිටි මායිම් තාප්පය ඉවත් කිරීම පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම තීරණයට පාදක වූ ප්‍රධාන කරුණුවන්නේ
ශ්‍රී ලංකා ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් මෙම තාප්පය සම්බන්ධයෙන් විශේෂ අවදානම් තත්ත්වයක් පවතින බවට අනතුරු අඟවා තිබීමය. අඩි 9ක් උස මෙම තාප්පය ජාත්‍යන්තර ගුවන්තොටුපළ රෙගුලාසි උල්ලංඝනය කරන බව හඳුනාගෙන ඇත.
ගුවන් යානයක සුළු තාක්ෂණික දෝෂයක් හෝ අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් තාප්පයේ ගැටීමෙන් විශාල අනතුරක් සිදුවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා ඇත්තේ සවිස්තරාත්මක සමාලෝචනයකින් පසු තාප්පය ඉවත් කිරීමේ තීරණය ගනු ලබන බවයි.
මෙම තීරණයේ වැදගත්කම තවදුරටත් තහවුරු කරන්නේ මෑතකදී දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපළේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමයි. එහිදී රෙගුලාසි උල්ලංඝනය කරමින් ඉදිකර තිබූ තාප්පයක ගුවන් යානයක් ගැටීමෙන් පුද්ගලයින් 179 දෙනෙකුගේ ජීවිත අහිමි විය.
මෙම සිදුවීම් දෙකම පෙන්නුම් කරන්නේ ගුවන්තොටුපළවල ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර රෙගුලාසි දැඩි ලෙස පිළිපැදීමේ අත්‍යවශ්‍යතාවයයි.
0 Comments