saif-ali-khan-case-father-suspect-false-arrest

මුම්බායි පොලීසිය විසින් බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පහර දී ඔහුගේ නිවසට පැන්නේ යැයි සැක කරන බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගේ පියා පවසන්නේ තම පුත්‍රයා නීති විරෝධී සංක්‍රමණිකයෙකු නිසා පහසු ඉලක්කයක් ලෙස සොයාගෙන වැරදි චෝදනා එල්ල කර ඇති බවයි.

"ඔවුන් මගේ පුතා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන තියෙනවා. නමුත් සිද්ධියෙන් පස්සේ පොලීසිය නිකුත් කළ ඡායාරූපවල ඉන්නේ ඔහු නොවෙයි," ඔහු පැවසීය. "සැකකරුට සමාන පෙනුමක් තියෙන නිසා ඔහුව අත්අඩංගුවට අරන් තියෙනවා." ඔහු කියයි.



මොහමඩ් ෂරිෆුල් ඉස්ලාම් ෂෙහ්සාද් නම් සැකකරු පසුගිය ඉරිදා මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ජනවාරි 16 වන දින අලුයම මුම්බායි නගරයේ සුඛෝපභෝගී ප්‍රදේශයක පිහිටි නිවසකට කඩා වැදී සිදු කළ පහරදීමකදී ඛාන්ට පිහි ඇනුම් හයක් ලබා දී ඇති අතර, ඔහුට ශල්‍යකර්මයකට භාජනය වීමට සිදු විය. දැන් ඔහු රෝහලෙන් පිටව ගොස් ඇත.

දකුණු බංග්ලාදේශයේ වෙසෙන සැකකරුගේ පියා මොහමඩ් රොහුල් අමීන්, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට පවසා ඇත්තේ තම පුත්‍රයාගේ අත්අඩංගුවට ගැනීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් ලෙස ඉන්දියාව සමඟ මතු කරන බවයි.

පසුගිය අගෝස්තු මාසයේ මහජන විරෝධතා හමුවේ ආණ්ඩුව පෙරළීමෙන් පසු ඉන්දියාවේ වාසය කරන හිටපු අගමැතිනි ෂේක් හසීනාගේ භාරදීම සම්බන්ධයෙන් ඩාකා සහ දිල්ලි අතර සබඳතා පිරිහී ඇත.

"අපි දුප්පත් වුණාට අපරාධකරුවන් නොවෙයි," යනුවෙන් අමීන් පුවත්පතට පවසා ඇත.


බංග්ලාදේශයේදී ෂෙහ්සාද් යතුරුපැදි ටැක්සි රියැදුරෙකු ලෙස ජීවත් වූ බව ඔහුගේ පියා පැවසීය.


විපක්ෂ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ගම් මට්ටමේ නිලධාරියෙකු වන අමීන් පැවසුවේ, රැකියා සොයා ඉන්දියාවට නීති විරෝධී ලෙස ඇතුළු වන සිය රටවැසියන් සිය ගණනක් මෙන් තම පුත්‍රයාද පහසු ඉලක්කයක් බවට පත්ව ඇති බවයි.

පසුගිය වසරේ ෂේක් හසීනාගේ අවාමි ලීග් පක්ෂය නැවත බලයට පැමිණීමෙන් පසු ඔවුන්ගේ ගමේ තත්ත්වය අස්ථාවර වීමෙන් පසු "වැඩි ආදායමක් සහ හොඳ ජීවන තත්ත්වයක්" සොයා තම පුත්‍රයා පලා ගොස් ඇත.

"මගේ පුතා ඛාලේදා සියාගේ සක්‍රීය සහායකයෙක් නිසා," යනුවෙන් අමීන් පැවසුවේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව ගැන සඳහන් කරමිනි, "ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා, ඒ නිසා හොඳ ආදායමක් සහ ජීවන තත්ත්වයක් සොයා බංග්ලාදේශයෙන් පිටව යන්න තීරණය කළා."

"ඒජන්තවරයෙකු" හරහා දේශසීමාව නීති විරෝධී ලෙස තරණය කර බටහිර බෙංගාලයේ සහ පසුව මුම්බායි හි රැකියා සොයා ගැනීමට තම පුත්‍රයාට උදව් කළ බව ඔහුගේ පියා පැවසීය.

පසුගිය සතියේ පොලීසිය විසින් නිකුත් කරන ලද ඛාන්ගේ නිවසේ ආරක්ෂක කැමරා දර්ශනවල සිටින පුද්ගලයා තම පුත්‍රයා නොවන බව අමීන් පැවසීය.

එක් කරුණක් නම්, දර්ශනවල සිටින දිගු කෙස් ඇති පුද්ගලයා මෙන් නොව ෂෙහ්සාද් සැමවිටම කෙටි කෙස් සහිත බවයි.

කෙසේ වෙතත්, ෂෙහ්සාද්ගේ නීතිඥ සන්දීප් ශේඛානේ විසින් තම සේවාදායකයා බංග්ලාදේශ ජාතිකයෙකු නොවන බවට කරන ලද ප්‍රකාශයට අමීන්ගේ ප්‍රකාශය පරස්පර වේ.

"ඔහු බංග්ලාදේශ ජාතිකයෙක් බවට පොලීසියට කිසිදු සාක්ෂියක් නැහැ," නීතිඥවරයා පැවසීය.

"ඔහු මෙහි පැමිණියේ මාස හයකට පෙර කියලා කියනවා. ඒක වැරදි ප්‍රකාශයක්. ඔහු මෙහි ජීවත් වෙනවා අවුරුදු හතකට වැඩි කාලයක්."

මුම්බායි අධිකරණයක් සිකුරාදා ෂහ්සාද්ගේ පොලිස් භාරය ජනවාරි 29 දක්වා දින පහකින් දීර්ඝ කළේය.

මාධ්‍ය තුළ "සිද්ධිය අධි ප්‍රචාරයට" ලක්ව ඇති බව හැර ෂෙහ්සාද් රඳවා තබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පවසමින් ශේඛානේ මෙම තීරණයට විරෝධය පෑවේය.

සයිෆ් අලි ඛාන් යනු හිටපු ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම් නායක දිවංගත මන්සූර් අලි ඛාන් පටවුඩි සහ නිළි ශර්මිලා ටැගෝර්ගේ පුත්‍රයා වේ. ඔහු පැරණි රාජ වංශික පවුලකට අයත් වන අතර පටවුඩිහි 10 වන නවාබ් යන සම්මාන නාමය දරයි.