thilini-priyamali-court

ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිළිණි පියුමාලි නමැත්තිය අත්අඩංගුවට ගතහොත් මුදාහැරීමට හැකි වන පරිදි පෙර ඇපයක් නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (02) ප්‍රතික්ෂේප කළේය.




සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ වෙනත් සැකකාරියන් දෙදෙනකුට එරෙහිව විමර්ශනයක් සිදු කරන බවට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කර ඇති කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා පූර්ණ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙම පැමිණිල්ල තිළිණි පියුමාලි විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ තිබිණි.


නීතිඥ එච්.එම්.අයි.වී. සේනාධීර මහතා මගින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සංඛ අමරජිත් මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. පැමිණිලිකාරිය පදිංචි රාජගිරිය නිවාස සංකීර්ණයේ සිටින වෙනත් තැනැත්තියක කර ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලිකාරිය අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පියුමාලි පැමිණිලිකාරිය සම්බන්ධ නොමැති හෙයින් පූර්ණ ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

රාගම, රංජිත් එදිරිසිංහ නමැති ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලක් අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මේ වනවිට විමර්ශනයක් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පියුමාලි පැමිණිලිකාරිය සම්බන්ධ නොමැති හෙයින් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.




රාගම, රංජිත් එදිරිසිංහ නමැති ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලක් අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මේ වනවිට විමර්ශනයක් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටිකාවත්තේ කුමුදුනී සුදර්ශනී නමැති සැකකාරිය අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියාය.

2023 සැප්තැම්බර් මාසයේ දී බන්ධනාගාරගත සැකකාරිය තිළිණි පියුමාලි නමැත්තිය හරහා ඩොලර් ලබාදෙන බවට පවසමින් මෙම මුදල් ලබාගෙන ඇති අතර රුපියල් 285ක මුදලකට ඩොලරයක් ලබාදීමට එකගවී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව එම සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඊයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය වුවහොත් අදාළ විමර්ශනය සඳහා පැමිණිලිකාරිය පොලිසියට සහාය දැක්විය යුතු බව පෙන්වා දෙමින් පෙර ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
(රෝෂාන් තුෂාර)