vajira-abeywardana

පළපුරුදු නැති අයට රට බාර දීමේ ආනිශංස හිතුවාටත් වඩා ඉක්මනින් රටේ ජනතාවට භුක්ති විදීමට සිදු වී ඇතැයි, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.පළපුරුදු නැති අයට රට බාර දෙන්න එපා යැයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පුන පුනා කීවේ, දැන් මහ පොළොවේ සිදු වෙමින් තිබෙන කාරණා ඉසිවරයකු සේ කල් තියා දුටු නිසා බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ ඊයේ (31) පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීය.


"ප්‍රථමයෙන් ශ්‍රී ලාංකික මහජනතාවට මේ 2025 වර්ෂය සුභ නව වසරක් වේවායි අප එක්සත් ජාතික පක්ෂය ලෙස ප්‍රාර්ථනා කරනවා.


කෙසේ වෙතත්, වර්ෂය ආරම්භයේ සිටම සමස්ත මහජනතාව විශාල පීඩනයකින් සිටින බව අපට පෙනෙන්නට තිබෙනවා.

එක අතකින් රටේ සහල් හිඟය අනෙක් පැත්තෙන් වන සතුන් හේතුවෙන් වගාවන්ට සිදුවන හානිය. මේ සියල්ලකින්ම අවසානයේ දුක් විඳින්න සිදුවන්නේ රටේ සමස්ත මහජනතාවටයි. ඒ නිසා මේවාට මුහුණ දිය යුත්තේ කෙසේ ද කියා එක්සත් ජාතික පක්ෂය මේ වන විට සොයා බලමින් සිටිනවා.


මෙවැනි තත්වයක් ඇති වන බව දන්න නිසා 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කළේ, රටක් ඉදිරියට ගෙන යන්න නම් පළපුරුද්ද, අත්දැකීම් සහ කළමනාකාරිත්වය ඉතා වැදගත් බවයි. ඒ නිසාම පළපුරුද්ද තියෙන අය පාර්ලිමේන්තුවට යවන්නැයි හිටපු ජනාධිපතිවරයා පැහැදිලිවම පැවැසුවා. එහෙත්, බහුතරයක් ශ්‍රී ලාංකික පුරවැසියන් තීරණය කළේ රට ඉදිරියට ගෙන යන්න කිසිදු පළපුරුද්දක් අවශ්‍ය නොමැති බවයි. ඒ නිසා ඔවුන් රටේ වගකීම පළපුරුද්දක් නැති කොට්ඨාසයකට බාර දුන්නා.


මෙය ඉතාම භයානක තත්වයක්. සමහර අය මේ පළපුරුද්ද ගැන කතා කරනකොට එය විහිළුවකට භාජන කළා. කෙසේ වෙතත්, මේ සියල්ලෙන්ම සිදු වුණේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියම විශාල පීඩනයකට ලක්වීමයි. අපි දැන් බැලිය යුත්තේ 2025 වර්ෂයේදී මේ රටේ සමස්ත මහජනතාව ඒ විශාල පීඩනයෙන් මුදා ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජන පරමාධිපත්‍යය බලගන්වන්නේ කෙසේ ද යන්නයි.අද රටේ විශාල වශයෙන් පොල් හිඟයක් ඇති වෙලා යැයි ආණ්ඩු පක්ෂයේ අය කියනවා. ශ්‍රී ලාංකික මහජනතාව එක දෙයක් හොඳින් මතක තබාගත යුතුයි,


පහුගිය අවුරුදු දෙක හමාර තුළත් මේ රිළව් හිටියා. නමුත් පොල් අඩුවක් තිබුණේ නෑ. ඒක එහෙම වුණේ රට පාලනය කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිසයි.

ඒ වගේම සහල් හිඟයක් ගැනත් අද ජනතාව මැසිවිලි නගනවා. මේ ගැනත් ශ්‍රී ලාංකික මහජනතාව මේ දෙය මතක තබාගත යුතුයි. මැතිවරණ කොට්ඨාසයක නිවාස 18,000ක් තිබෙනවා නම් නිවාස පවුල් 10,000කට පහුගිය කාල වකවානුවේ තිබුණු ආර්ථික පීඩනයෙන් මිදෙන්න අවශ්‍ය නිසා රට යම් තත්වයකට ගෙන එන්න නොමිලේ සහල් ටොන් ගණනාවක් බෙදා දුන්නා. එදා එහෙම සහල් බෙදන අවස්ථාවේදීත් ඔය කියන ප්‍රධාන මෝල් හිමියන් පස් දෙනා හිටියා.


2025 වර්ෂයේදී මහජනතාව අසරණ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන පරමාධිපත්‍යය බලගන්වමින් ශ්‍රී ලාංකික මහජනයා ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ යුගයේ ජාතික නායකයා වන රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරන බැවින්, ඒ සඳහා අපි පෙළ ගැසෙමු. 2025 වර්ෂය ශ්‍රී ලාංකික ඔබ සැමට සත්‍යය අවබෝධ කරගැනීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.”
(අංජුල මහික වීරරත්න)