watarappala-road-murders

ගල්කිස්ස, වටරප්පල, සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (7) අලුයම කඩා වැදුණු නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.මියගොස් ඇති දෙදෙනා මාමා කෙනෙකු සහ ඥාති පුත්‍රයකු බව ද පොලිසිය කියයි.






වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස වටරප්පල සෙම්බලන්කොටුවේ පදිංචිව සිටි ගෝවින්නගේ සුදත් ගොමිස් (37) හා දැරණියගල චානක විමුක්ති පීරිස් (21) නමැති දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.මියගිය මාමා සහ ඥාති පුත්‍රයා රාත්‍රි හෝටල්වල කොත්තු බාස්වරුන් ලෙස කටයුතු කරන දෙදෙනකු බවත් මියගිය මාමාගේ වැඩිමල් සහෝදරයා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් පොලිසිය කියයි.


මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බඩෝවිට අසංක නැමැත්තා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොස්මල්ලී මෙන්ම චූවා සමන්ත නැමැත්තන් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැවැති අරවුලක් මත මෙම බඩෝවිට අසංක නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනකු මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. වෙඩික්කරුවන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ ඔවුන් නිවෙසේ දොර කඩා ඇතුළුවී මාමාට සහ පුතාට කළ වෙඩි තැබීමෙන් මාමා එම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතළ තුවාල ලබා සිටි පුතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.




මීට මාස කීපයකට පෙර කොහුවල සහ දෙහිවල ප්‍රදේශවලදී ද දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු සිදුවී මනුෂ්‍ය ඝාතන සිදුවී ඇති අතර ඊට පලිගැනීමක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනාම ගිනි අවි දෙකකින් මෙම වෙඩි තැබීම කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මීට සති දෙකකට පමණ ඉහත දී මියගිය පුතා සහ තවත් පුද්ගලයකු අතර බහින් බස්වීමක් සිදුව ඇති බවට අනාවරණය වී යැයි ද කියයි.සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණය කිරීමෙන් සහ මූලික තොරතුරු ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)