
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් නිර්භීතව හඬ නැගූ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකාවක් මෙන්ම හිටපු කැඳවුම්කාරිනියක ද වූ සීතා රංජනී මෙනවිය අද (17) දින අභාවප්‍රාප්ත විය. මියයන විට ඇය 71 වන වියේ පසුවූවාය.අවිවාහකව ජීවත් වූ සීතා රංජනී , දීර්ඝ කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තාය.
1954 මාර්තු 8 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ප්‍රදේශයේ උපත ලද සීතා රංජනී , සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දරුවා වූවාය.
වසර 37කට අධික කාලයක් ඇය මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීය සාමාජිකාවක් ලෙස කටයුතු කළාය.
ගුවන්විදුලි හා පුවත්පත් මාධ්‍යවේදිනියක්, ලේඛිකාවක්, කිවිඳියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස බහුවිධ දක්ෂතා පෑ ඇය, විශේෂයෙන්ම සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටු කළාය. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස පාලන සමයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ එක්ව එහි සමාරම්භක ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ ඇය, මර්ජ් ආයතනය විසින් ප්‍රකාශිත 'යුක්තිය' සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස ද සේවය කළාය.
1984 වසරේ ආරම්භ කරන ලද කාන්තා හා මාධ්‍ය සමූහය (Women and Media Collective) සමඟ ආරම්භයේ සිටම සම්බන්ධ වූ සීතා රංජනී මෙනවිය , ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක ලෙස කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියාය. විශේෂයෙන්ම කාන්තා මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව නිරන්තරයෙන් හඬ නැගූ ඇය, ස්ත්‍රී ක්‍රියාකාරකම්වල නියැලෙමින් කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් කැපවී කටයුතු කළාය.
කවි රචනා ක්ෂේත්‍රයේද සුවිශේෂී දායකත්වයක් සැපයූ ඇගේ කාව්‍ය නිර්මාණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාන්තා ගායිකාවන් විසින් ගායනා කරන ලද ගීත බවට පරිවර්තනය කර ඇත. සාහිත්‍ය විචාර හා සිනමා විචාර ක්ෂේත්‍රයේද ඇය සැලකිය යුතු දායකත්වයක් සැපයූවාය.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙබරවාරි 18 අඟහරුවාදා සවස කටුකැලියාව සුසාන භූමියේ දී සිදුකෙරයි.
17 දින සිට මඩගම්මන මාවත, කටුකැලියාව, අනුරාධපුර යන ලිපිනයේ දේහය තැන්පත් කර තැබෙනු ඇත
මාධ්‍ය නිදහස, සමාජ සාධාරණත්වය, කාන්තා අයිතිවාසිකම් සහ ජාතික සමගිය වෙනුවෙන් ඇය කළ අනගි මෙහෙවර මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී මතක සටහනක් ලෙස සදාකාලිකව රැඳී පවතිනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval