
දකුණු කොරියාවේ ප්‍රකට ළාබාල නිළියක වන කිම් සේ-රොන් (24) සිය නිවසේදී මිය ගොස් තිබී හමුවූ බව සෝල් පොලීසිය පවසයි. ඇගේ මෘත දේහය පෙබරවාරි 16 වන ඉරිදා සවස 4.55ට පමණ සෝල් නුවර සෙයොංසු-දොං ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී මිතුරියක විසින් සොයා ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ මරණයට අපරාධමය හේතු නොමැති බවත්, මරණයේ සැබෑ හේතුව සොයමින් පවතින බවත්ය. නීති බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.
2000 ජූලි 31 වන දින උපත ලද කිම් සේ-රොන්, කුඩා කල සිටම රංගනයේ නියැළී සිටි අතර දකුණු කොරියාවේ දක්ෂතම තරුණ නිළියන්ගෙන් කෙනෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූවාය. ඇය 2009 වසරේ "ඒ බ්‍රෑන්ඩ් නිව් ලයිෆ්" චිත්‍රපටයෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් දිනා ගත්තාය. මෙම චිත්‍රපටය කාන්ස් චිත්‍රපට උළෙලේද ප්‍රදර්ශනය කෙරිණි.
ඉන්පසු ඇය "ද මෑන් ෆ්‍රොම් නෝවෙයා" (2010), "ද නේබර්" (2012), සහ "ඒ ගර්ල් ඇට් මයි ඩෝර්" (2014) වැනි සුප්‍රකට චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය. "ද මෑන් ෆ්‍රොම් නෝවෙයා" චිත්‍රපටයෙන් දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් 8 වන කොරියානු චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නවක නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.
2022 වසරේදී මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවට ලක්වීමත් සමඟ ඇගේ වෘත්තීය ජීවිතය බරපතල ලෙස බාධාවට ලක් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වොන් මිලියන 20ක දඩයකට යටත් විය. ඇගේ අවසාන රංගනය වූයේ නෙට්ෆ්ලික්ස් හි "බ්ලඩ්හවුන්ඩ්ස්" (2023) කතා මාලාවයි. එහෙත් රිය අනතුර හේතුවෙන් ඇගේ දර්ශන බොහොමයක් ඉවත් කර තිබිණි.
කිම්ගේ අභාවය පිළිබඳ පුවත සමඟ කොරියානු කලාකරුවන් රැසක් ශෝකය පළ කර තිබේ.
තරුණ කේපොප් ගායක ගායිකාවන් සහ කේඩ්‍රාමා නළු නිළියන්ගේ මෑත කාලීන මරණ, දකුණු කොරියානු විනෝදාස්වාද කර්මාන්තයේ මානසික සෞඛ්‍ය ගැටලු සහ පීඩනය පිළිබඳ අඛණ්ඩ ප්‍රශ්න මතු කර ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval