The Imbulgoda meditation center where Mahinda visited did not open the door even after the Deputy Minister visited.

ගම්පහ ඉහළ යාගොඩ ඉඹුල්ගොඩ අක්කර ගණනාවක ඉඩමක පිහිටා ඇති "නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානය" නමැති පුවරුවක් සවිකළ ස්ථානයක් තුළ සිද්ධවන දේවල් සැකසහිත යයි පවසමින් ගම්පහ නියෝජනය කරන කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් පරීක්ෂා කිරීමකට එහි ගිය නමුත් අවසර ලැබුනේ නැත.

2014 පමණ කාලයේ මහින්ද ජනපති කාලයේ ජනපති කාර්යාලයේ නිලධාරීන් පැමිණ වරින්වර ඉඩම් මිලටගනිමින් ඉදි කළා යයි සැලකෙන මෙම මධ්‍යස්ථානයේ ඉඩකඩම් රජයේ වියදමින් ලබාගත්තත් ඉඩම් ලියා ඇත්තේ ශිරන්ති රාජපක්ෂගේ නමට බවට එම ඉඩම් ලබාදී ඇති ප්‍රදේශවාසීන් පවසන බව අද දින මෙම අවස්ථාවට එක්වූ අසල්වාසියෙක් පැවසුවේය.

ඔහු පවසන පරිදි ඒ කාලයේ මහින්ද රාජපක්ෂ මෙම ස්ථානයට නිතර ආව ගිය බවත් පසුව ආවේ නැති බවත් සඳහන් කර ඇත.
ඉතා වටිනා කියන ගල්වර්ගද ගෙනවිත් ඉදිකිරීම් සිදුකරන අයුරු ගම්වාසීන් දැක තිබුණ නමුත් මෙම භාවනා මධ්‍යස්ථානය මේවනතුරු කිසිවෙකු‍ට විවෘත නැතැයිද ගම්වාසීන් හෝ දැක නැතැයිද පවසා තිබේ.
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයට අනුබද්ධ භාවනා මධ්‍යස්ථානයක් ලෙස ඉඹුල්ගොඩ ඉදිකර ඇති මෙම ස්ථානයෙන් කවර සේවයක් ඉටුවන්නේද යන්න ගැන පැහැදිලි නැති බවත් ප්‍රදේශවාසීන් පවසා තිබේ.
මින් ඉහත රන්ජන් රාමනායක ඇතුලු පිරිසක්ද මෙම ස්ථානය බලන්නට කියා පැමිණ ගොස් ඇති නමුත් එම අවස්ථාවේද ඉඩදී නැති අතර රන්ජන් පිටව යද්දී ගල් ගසා ඇති බවත් කතෝලිකයෙකු බෞද්ධ වැඩට ඇඟිලි ගසන බවට චෝදනා කළ බවත් ගම්වාසීන් සාක්ෂි දී තිබේ.


බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට අද කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් ඇතුල්වීමට උත්සාහ දැරූ නමුත් එහි සිටි සිවිල් ආරක්ෂක නිලධාරීන් අවසර නැතිව ඇතුළ් කළ නොහැකි බව දක්වා ගේට්ටු දිගටම වසා තැබූ අතර මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිවරයා ස්ථානය භාර හිමිනමට දුරකථනයෙන් කථාකළත් පලක් වූයේ නැත.
හිමිනම සඳහන් කළේ ඇතුළුවන්නට ඉඩ දිය නොහැකි බවකි.
එම ඇමතුමට හිමිනම පිළිතුරු සපයන ආකාරය පවා මාධ්‍ය කැමරාවට නැගිණි.
 පොලිසියද එම ස්ථානයට පැමිණි නමුත් සිද්ධවන දේවල් අභිරහසක්ව තබා කිසිවෙකුට ඇතුළුවීමට බැරි විය. නි. ඇමතිවරයා ආරක්ෂක අමාත්‍යංශය හා සම්බන්ධවන්නට දැරූ උත්සාහය අද ඉරිදා දිනයක් වූ නිසා  අසාර්ථක විය.


නියෝජ්‍ය ඇමතිවරයා කීවේ ප්‍රදේශයේ පරිපාලන නිලධාරීන් ඔස්සේ සම්බන්ධවෙමින් මේ ගැන ඉදිරි දිනවලදී සොයා බලන බවයි. එසේ කී නි ඇමතිවරයා පිරිස සමග ආපසු හැරී ගියේය.
එම ඉඩමේ සිද්ධවන දේවල් මෙන්ම රජයේ වියදමින් ලබාගත් ඉඩමක් වන නමුත් අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැහැදිලි කළේය.