
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සහ රැඳවියන් දෙදෙනකු විසින් අමානුෂික ලෙස පහරදී ලුණු වතුර පෙවීම හේතුවෙන් නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු මියගිය බව ඔහුගේ බිරිඳ විසින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන් වේ.
මහරගම, දේවානන්ද පාරේ පදිංචිව සිටි වයස අවුරුදු 54ක් වූ එස්.ඩී. නිශාන්ත නමැති පුද්ගලයා මෙලෙස මරණයට පත්ව ඇත. හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හේතුවෙන් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර නව මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇත.
පැමිණිලිකාරිය වන මියගිය පුද්ගලයාගේ බිරිඳගේ ප්‍රකාශයට අනුව, පසුගිය 26 වැනි දින ඇගේ ස්වාමිපුරුෂයාට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු පහර දුන් බව බන්ධනාගාර රැඳවියකු විසින් ඇයට දන්වා ඇත. මෙම සිද්ධියෙන් පසුව ඔහු බන්ධනාගාර රෝහලේ අංක 2292 යටතේ දින හතරක් ප්‍රතිකාර ලබමින් සිටි අතර, අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව දැනගැනීමෙන් පසු, මියගිය පුද්ගලයාගේ බිරිඳ රෝහලට ගොස් බැලූ අවස්ථාවේ ඔහු අංක 42 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි නමුත් කිසිවක් කතා නොකළ බවත්, පසුව පසුගිය 16 වැනි දින ඔහු මිය ගිය බව දැනගන්නට ලැබුණු බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන් වේ.
පැමිණිලිකාරිය තවදුරටත් පවසා ඇත්තේ, ඇගේ සැමියා අයිස් මත්ද්‍රව්‍ය ගිල දැමූ බව පවසමින් වමනය කරවීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදී ලුණු වතුර පොවා ඇති බවයි.
බොරැල්ල පොලිසිය පවසන අන්දමට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැඳවා ස්ථාන පරීක්ෂාවක් සිදුකර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා අදාළ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.
බොරැල්ල පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval