අල්ලස් කොමිසම අද දහවල් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු තුනක් සම්බන්ධයෙන් අද (මාර්තු 27) දින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නඩු දෙකකින් ඇප ලබාගත්තද, තෙවන නඩුවකට අදාළව අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


චෝදනාවලට අනුව, දසනායක මහතා 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ කාලයේදී, ඌව පළාතේ පෙර පාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමේ ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය බැංකු තුනකින් මුදල් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම මත බැංකු දෙකකින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර, දසනායක මහතා එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලීම කළ අවස්ථාවේදී එම බැංකුව මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති කරුණුවලට අනුව, මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුවී ඇත.

අධිකරණය විසින් සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පළමු චෝදනා දෙක සඳහා දසනායක මහතාට ඇප ලබාදීමට තීරණය කර ඇත. ඇප කොන්දේසි ලෙස රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය නියම කර ඇත.

එහෙත්, තෙවන චෝදනාවට අදාළව දසනායක මහතා 2025 අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.