Deshabandu will be taken to Dumbara instead of Angunukolapelessa.

වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අපරාධ නඩුවකට හසුවී රිමාන්ඩ් භාරයට පත් කර අද දින ඇප නොලබා සති දෙකක් යළි අරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ අතර අප්‍රේල් මස 03 වැනි දින දක්වා මහනුවර දුම්බර (බෝගම්බර) බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති බව බන්ධනාගාර ප්‍රකාශකවරයා තහවුරු කර ඇත.


අප්‍රේල් 03 වන දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නැවත ඉදිරිපත් කිරීමට නියමිත දේශබන්දු තෙන්නකෝන් මහතා එතෙක් දුම්බර බන්ධනාගාරයේ විශේෂිත ආරක්ෂක කුටියක රඳවා තැබීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර ඇත.

මාතර කොටවිල පිහිටි අධිකරණයේ සිට බෝගම්බර බන්ධනාගාරය වෙත සැකකරු රැගෙන යාම සඳහා අවි සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් සහිත බන්ධනාගාර බස් රථ දෙකක් මෙන්ම පොලිස් ආරක්ෂාවද යොදවා තිබිණි.


සැකකරු වන හිටපු පොලිස්පතිවරයාට විශේෂ ආරක්ෂාවක් සැපයීම සම්බන්ධයෙන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාර්තු 19 සහ 20 යන දෙදිනම මාතර බන්ධනාගාර අධිකාරිවරයාට විශේෂ නියෝග නිකුත් කර තිබේ. සැකකරුට බන්ධනාගාරය තුළ සුරක්ෂිත පරිසරයක් සැපයීම මෙන්ම ඔහු ප්‍රවාහනය කිරීමේදීද උපරිම ආරක්ෂාව තහවුරු කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා,
පොලිස්පතිවරයා යුක්තිය මෙහෙයුම සිදු කළ කාලවකවානුවේදී දේශීය හා විදේශීය අපරාධකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව අධිකරණයට කරුණු දක්වා තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද සැකකරු වන පොලිස්පතිවරයාට විශේෂිත ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරගත කිරීමට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට දන්වා ඇත.