
ගාල්ල, අක්මීමන තලගහ ප්‍රදේශයේ අද (මාර්තු 13) සිදුවූ වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා (61) ඝාතනය කර ඇත. ඔහු නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි ප්‍රහාරය අක්මීමන, තලගහ ප්‍රදේශයේ සිදුවී ඇති අතර, ඝාතනය කරන ලද අහංගම වලවගේ සිරිදත් ධම්මික මහතා බූස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරී ලෙස සේවය කරමින් සිටියදී පොඩි ලැසීගේ මරණ තර්ජනයට ලක්වූ අයකුය.
විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ, හෙරොයින් ළඟ තබා ගැනීම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කාලයක් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි "පොඩි ලැසී" ලෙස හඳුන්වන අරුමාහන්දි ජනිත් මධුසංක නමැති දරුණු අපරාධකරුවකු විසින් 2020 මැද බාගයේ බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කර තිබීම සම්බන්ධ නඩුවක්ද පැවති බවයි.
මෙම මරණ තර්ජන බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන හා පුනරුත්ථාපන) ජනක චන්දන ලලිත් බණ්ඩාර, බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් තුසිත ඉන්ද්‍රජිත් උඩුවර, බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි) විතානගේ ප්‍රසාද් ප්‍රේමතිලක, සහ අද ඝාතනයට ලක්වූ එවක සහකාර බන්ධනාගාර අධිකාරි (බූස්ස) අහංගම වලවගේ සිරිදත් ධම්මික යන නිලධාරීන්ට එල්ල කර තිබුණි.
පොඩි ලැසී විසින් එවකට උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් "තමන් සිරකර තැබුවාට එළියේ සිදුවන තමන්ගේ ක්‍රියාකාරකම් අඩු නොවන බවත්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාගේ සිට ඕනෑම පුද්ගලයකුගේ ඉරණම මරණය බවත්,
තමාට එරෙහි වූ ජේලර්වරයා මරා දැමූ බවත්" ප්‍රකාශ කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කොට තිබියදී පොඩි ලැසී ඇප ලබාගත්තේ ශරීර ඇප හතරක් නියම කරමිනි.
පසුව වෙනත් නඩුවලින්ද ඇප ලබාගෙන පොඩි ලැසී ඉන්දියාවට පළාගිය අතර නැවත ඉන්දියාවේදී හසුවූයේ පසුගිය ජනවාරි මාසයේය.
පාතාල නායකයින් රඳවා සිටි සිරකඳවුරු වල තම සේවය සිදුකිරීමෙන් පසු මරණ තර්ජන ලැබ ඇති බන්ධනාගාර නිලධාරීන් මේ ආකාරයට නිවසේ සිටියදී ඝාතනයට ලක්වීම භයානක තත්වයක් මතුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval