
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් විදේශගතව සැඟව සිටින පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ උපදෙස් මත මෙරට අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වැටලීමේදී සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්කුඩු, වායු රයිෆලයක්, ජංගම දුරකතන දෙකක් සහ ත්‍රිරෝද රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත ලැබුණු තොරතුරු අනුව, ප්‍රධාන සැකකරු විදේශගතව සැඟව සිටින පාතාල කල්ලි නායකයාගේ සමීපතමයන් දෙදෙනෙකුගෙන් එල්ලවන ජීවිත තර්ජන හේතුවෙන් සැඟව සිටින බවත්,
ඔහු දෙහිවල ප්‍රදේශයේ සිදුවූ අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයකු බවත් හෙළි වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පොලිස් සැරයන් 40730 ධනුෂ්ක නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව, එම සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කරන පරිදි, සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,250 ක් සොයා ගැනීමට හැකි වී තිබේ.
සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී, ඔහු පාපොචි කර ඇත්තේ ප්‍රතිවිරුද්ධ කල්ලිවලින් එල්ලවන ජීවිත තර්ජන හේතුවෙන් සහ දෙහිවල පොලිස් වසමේ නිවෙසකට පහරදී රුපියල් ලක්ෂ දොළහකට වැඩි දේපළවලට අනර්ථයක් සිදුකිරීම සහ රුපියල් ලක්ෂ පහකට ආසන්න ජංගම දුරකතන කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් සොයමින් සිටි බැවින්,
මහරගම සපුමල් පෙදෙසේ දෙමහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන සැඟව සිටි බවයි.
පොලිසිය වැඩිදුරටත් හෙළි කර ඇති පරිදි, එම නිවසට මාසික කුලී මුදල වන රුපියල් 60,000 ක මුදල විදේශගතව සැඟව සිටින පාතාල කල්ලි නායකයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ලබා දී ඇති අතර, සැකකරුගේ අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ වායු රයිෆලයද සොයාගෙන ඇත.
සැකකරු රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු අනුව, බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයා දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 30 යි මිලිග්‍රෑම් 30 ක් සමඟ එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම අත්අඩංගුවට ගැනීම් හරහා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ ක්‍රියා සඳහා මෙහෙයවීම් සිදුකරන ප්‍රධාන පාතාල ජාලයක සැලකිය යුතු කොටසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval