5881 government appointments on hold due to election

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ නව බඳවා ගැනීම් තීරණය පළාත් පාලන මැතිවරණ කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නම් මැතිවරණ කොමිසමේ අනුමැතිය අනිවාර්ය බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කර ඇත.



මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද කැබිනට් තීරණයකට අනුව රාජ්‍ය සේවයේ පුරප්පාඩු 5,882ක් සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇති නමුත්, වත්මන් මැතිවරණ කාලසීමාව තුළ එම බඳවා ගැනීම් ක්‍රියාත්මක කිරීමට නම් මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ අනුමැතිය අවශ්‍ය වන බව සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.


"කැබිනට් තීන්දු තීරණ අපට එව්වට පස්සෙ තමයි පත්කරන ක්‍රමය සලකා බලලා අනුමැතිය දෙන්නෙ. තීරණය තිබුණට බඳවා ගැනීම් කරලා නැහැනෙ. බඳවා ගන්න නම් අපෙන් අනුමැතිය ගන්න ඕනෑ," යනුවෙන් රත්නායක මහතා පැවසීය.

වර්තමාන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කාලය තුළ සිදු කරන ඕනෑම බඳවා ගැනීමක් සඳහා කොමිෂන් සභාව විසින් බඳවා ගන්නා ක්‍රමය සහ අනෙකුත් සාධක සැලකිල්ලට ගෙන අනුමැතිය ලබා දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"ඡන්දයට බලපෑමක් වෙනවද? නැද්ද? කියලා සමහර ඒවට අනුමැතිය දෙනවා. සමහර ඒවට අනුමැතිය දෙන්නෙ නැහැ. සමහර ඒවා ඡන්දයෙන් පස්සෙ කරන්න කියනවා. ඡන්දයට වන බලපෑම මතයි ඒක තීරණය වෙන්නෙ," යැයි සභාපතිවරයා පැහැදිලි කළේය.


මැතිවරණ කාලසීමාව තුළ සේවක බඳවා ගැනීම් සහ මාරු කිරීම් පමණක් නොව, රජයට සහ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා ද කොමිෂන් සභාව ක්‍රියා කරන බව රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම, දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවන හෝ ඉන් අගතියට පත්වන ආකාරයේ රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම්, උසස් කිරීම් හෝ මාරු කිරීම් මැතිවරණ කාලය තුළ සිදු නොකළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

මාර්තු 10 වන දින ප්‍රකාශයට පත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමට අනුව, රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය ආයතන 11ක පුරප්පාඩු 5,882ක් පිරවීමට අනුමැතිය ලබා දී ඇත.

එම බඳවා ගැනීම් අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 909ක් ද,
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 2,500ක් ද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 1,615ක් ද ඇතුළත් වේ.

එසේම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 109ක්, පරිසර අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 144ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 22ක්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 3ක්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 185ක්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 20ක්, මධ්‍යම පළාත් සභාව සඳහා පුරප්පාඩු 72ක් සහ ඌව පළාත් සභාව සඳහා පුරප්පාඩු 303ක් ලෙස ද මෙම බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබා දී ඇත.

කෙසේ වෙතත්, මෙම බඳවා ගැනීම් ක්‍රියාත්මක කිරීමට නම් වත්මන් පළාත් පාලන මැතිවරණ කාලසීමාව තුළ නම් මැතිවරණ කොමිසමේ අනුමැතිය අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති රත්නායක මහතා නැවත අවධාරණය කර ඇත.