
වයස 19 ක රියදුරෙකු රාත්‍රී කාලයේ අපරීක්ෂාකාරී ලෙස පසුපසට ධාවනය කරන ලද මෝටර් රථයක් හේතුවෙන් කොළඹ මහ නගර සභාවට අනුයුක්ත පෞද්ගලික ආයතනයක පිරිසිදු කරන්නෙකු සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය වාර්තා කරයි.
අනතුරින් මියගිය අයගේ මොළය මරණයට පත්ව තිබීම හේතුවෙන්, පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත මත ඔහුගේ ශරීරයේ අවයව රෝහලට පරිත්යාග කිරීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙහිවල ඔබන් පෙදෙස, ධීවර නිවාස, අංක 40 හි පදිංචි නල්ලපෙරුම තන්ත්‍රිගේ නුවන් බන්ධුල කුමාර (41) නම් එක් දරු පියෙකි.
බම්බලපිටිය පොලිසිය සඳහන් කරන පරිදි, නුවන් බන්ධුල කුමාර තවත් පුද්ගලයෙකු සමඟ පසුගිය 13 වැනිදා අලුයම 1.00 පමණ බම්බලපිටිය පොලිස් වසමේ ඩුබ්ලිකේෂන් පාරේ ඩික්මන් හන්දිය අසල පදික වේදිකාව පිරිසිදු කරමින් සිටියදී, වැල්ලවත්ත දෙසින් කොල්ලුපිටිය දෙසට අධික වේගයෙන් හා අපරික්ෂාකාරී ලෙස පසුපසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් පිටතට ගොස් ඔහුගේ ශරීරයට ගැටී මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරෙන් පසු එම මෝටර් රථය නොනැවතී වැල්ලවත්ත දෙසට ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෙනත් ලොරි රථයකටද ගැටී මෝටර් රථය පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
අනතුරෙන් හිසට බරපතල තුවාල ලැබූ නුවන් බන්ධුල කුමාර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදු කරන ලදී. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩබ්ලිව්.පී.එස්.ආර්. පතිරණ මහතා විසින් සිදු කර ඇත.
ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව, හිසට සිදුවූ බරපතල තුවාල මරණයට හේතුව බවට හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කර ඇත.
අනතුරින් පසු ආරක්ෂක කැමරා දර්ශන භාවිතා කරමින් පලා ගිය මෝටර් රථය මහරගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර, අවුරුදු 19ක් වයසැති සැකකරු හැඳල-වත්තල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වාර්තා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියේ පොලිස් සැරයන් (14022) කිත්සිරි මහතා පරීක්ෂණ මෙහෙයවා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval