
අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුවේ සියලු චෝදනාවලින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා ඊයේ (27) ඔහු නිදොස් කර නිදහස් කළේය.
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කිරීමෙන් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව වසර 20ක පමණ කාලයක් තිස්සේ විභාග කළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කළේය.
නඩුවේ පසුබිම හා චෝදනා
2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොට දී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්‍ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ්‍රී ජනරජයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව රැකගැනීමේ කාර්යයේ යෙදී ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් නිලධාරීන් රැඳී සිටි "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසය පිළිබඳව, රැඳී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා සඳහා භාවිත කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
එලෙස රැස් කරන ලද රහස් පදනම් කරගනිමින් "මිලේනියම් සිටි" ආරක්‍ෂක නිවෙස වටලන ලද බවටද, එලෙස වටලා එහි සිටි හමුදා නිලධාරීන් එහි තිබූ රහස් ලිපිගොනු අත්අඩංගුවට ගෙන ඒවා ප්‍රදර්ශනය කළ බවටද හමුදා නිලධාරීන් කුරුඳුවත්ත හා කටුගස්තොට පොලිස් ස්ථානවලට මෙන්ම මහනුවර නිල සුනඛ අංශයට රැගෙන ගොස් ප්‍රදර්ශනය කළ බවටද එම නිලධාරීන් දින 10ක් මහනුවර හා කටුගස්තොට පොලිස් ස්ථානවල රඳවා තබා ඉන් අනතුරුව නෛතික පදනමකින් තොරව ඔවුන්ට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරු බවටද නීතිපතිවරයා වැඩිදුරටත් චෝදනා නගා ඇත.
ඊට අමතරව, කොටි ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු රැස් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකා නිලධාරීන්ගේ ඡායාරූප ලබාගෙන හා ඔවුන් වීඩීයෝ කර ඔවුන් පිළිබඳ තොරතුරු පිටස්තරයන්ට දැනගැනීමට හුස්වීම රාජ්‍ය නිල රහස්‍ය පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බවටද නීතිපතිවරයා විසින් චෝදනා 22ක් යටතේ චෝදනා ඉදිරිපත් කර ඇත.
නඩු විභාගය හා පාර්ශවයන්ගේ තර්ක
තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගාතුරව සිටින විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.
නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති වාචක විත්තිකරු නිදහස් කරන්නැයි මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා විත්ති වාචක කැඳවීය. චිත්ති වාචක සලකා බැලීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා කරුණු රැසක් සලකා බැලීය.
උඩතලවින්න ඝාතන සිද්ධිය හා වැටලීමේ පසුබිම
විනිසුරුවරයා තම තීන්දුවේ සඳහන් කළේ, මහනුවර නිල සුනඛ අංශයේ සේවය කළ විත්තිකරු 2001 දෙසැම්බර් 05 වැනිදා මහනුවර උඩතලවින්න ප්‍රදේශයේදී පිරිසක් මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන කිරීමට පොලිස්පතිවරයා පත්කළ බව නඩු විභාගයේදී හෙළි වූ බවයි.
උඩතලවින්ත ඝාතන සිද්ධියේ සැකකරුවකු වූ හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයකු වන චානුක රත්වත්තේ නමැත්තා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ හමුදා නිලධාරියකුගේ නිවෙසක සැඟවී සිටින බවට ලැබුණු තවත් තොරතුරකට අනුව විත්තිකරු නිලධාරී පිරිසක් සමග ගොස් වැටලීමක් කළ බව සාක්ෂි මගින් හෙළි වී ඇත.
විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධයකට අදාළ තොරතුරක් යම් පොලිස් නිලධාරියකුට ලැබුණු විට ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඔහුට ඇති බලය මත නඩුවට පාදක වූ නිවෙස පරික්ෂා කර ඇති බවත්, එම නිවෙස පරික්‍ෂා කරනතුරු එය යුද හමුදා ආරක්ෂක නිවස්නයක් බව විත්තිකරු දැන සිට නැති බවත්ය.
වැටලීමේ ක්‍රියාපටිපාටිය හා සොයාගත් අවි ආයුධ
අදාළ නිවෙස යුද හමුදා ආරක්ෂක නිවස්නයක් බව විත්තිකරු දැනගෙන ඇත්තේ නිවාස සංකීර්ණයේ කාර්යාලයෙන් කළ විමසීමකදී බවත්, පසුව විත්තිකරු යුද හමුදා පොලිස් මූලස්ථානයේ සහාය මත ප්‍රශ්නගත නිවස පරීක්ෂාවට ලක්කර ඇති බවත් තීන්දුවේ සඳහන් කෙරිණි.
එම පරීක්‍ෂාවේදී නිවෙස තුළ තිබී 'ක්ලේමෝ බෝම්බ', 'තර්මෝ බැරික්' බෝම්බ, සයනයිඩ් කරල් ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන ඇති බවත්, එවැනි භයානක අවි ප්‍රශ්නගත නිවෙසේ තබාගැනීමට නිවෙසේ සිටි අයට නීත්‍යානුකූල අවසරයක් නොතිබූ බවද තීන්දුවේ සඳහන් කෙරිණි.
විනිසුරුවරයා තවදුරටත් සඳහන් කළේ, විත්තිකරු ප්‍රශ්නගත නිවෙස පරික්ෂා කර ඇත්තේ නීත්‍යානුකූල ආකාරයට බවත්, ප්‍රශ්නගත නිවෙස පරීක්ෂා කිරීමේදී විත්තිකරු බලය අබිබවා කටයුතු කළ බවට සාක්කි ඉදිරිපත්ව නැති බවත්ය. ප්‍රශ්නගත නිවස පරීක්ෂා කිරීමට පෙර විත්තිකරු මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් ඒ සඳහා නියෝග ලබාගෙන තිබූ බවද සාක්කි මගින් හෙළි වී ඇත.
අත්අඩංගුවට ගැනීම් හා රඳවා තැබීම්
ප්‍රශ්නගත සිද්ධියේදී හමුදා කපිතාන් මොහොමඩ් නිලාම් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් පස්දෙනකු සහ සුභාෂ්කරන් නමැති සිවිල් වැසියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට සාක්කි මගින් හෙළි වී ඇති බව විනිසුරුවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට ගනු ලැබු හමුදා නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග නිකුත් කිරීම ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හමුදා නිලධාරීන් හැර සිවිල් සැකකරු පමණක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට විත්තිකරු කටයුතු කර ඇති බවත්, විත්තිකරු හමුදා සැකකරුවන් සම්බන්ධයෙන් සද්භාවයකින් යුක්තව කටයුතු කර ඇති බවක් පෙනී යන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ දී අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියා මහනුවර සහ කටුගස්තොට පොලිසිවල අයුතු ලෙස රඳවාගත් බවට නීතිපතිවරයා චෝදනා නගා තිබුණත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත විත්තිකරු ඔවුන් අදාළ පොලිස් ස්ථානවල රඳවාගෙන ඇති බව සඳහන් කෙරිණි. ඒ අනුව සැකකරුවන් රඳවාගෙන ඇත්තේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග තුළ බැවින් හමුදා නිලධාරීන් අයුතු ලෙස සිරකර තැබීමට ආධාර අනුබල දුන් බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නැති බව තීරණය කෙරිණි.
හමුදා බුද්ධි අංශයේ සාක්ෂි හා තොරතුරු හෙළිදරව්ව
අත්අඩංගුවට ගනු ලැබූ හමුදා නිලධාරීන් බේරා ගැනීමේ චේතනාවෙන් හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානීන් වන විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල්වරුන් වන කපිල හෙන්දාවිතාරණ, සුරේෂ් සලේ, යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් ප්‍රේමානන්ද උදලාගම මහත්වරුන් නඩු විභාගයේදී සාක්ෂි දී ඇති බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එහෙත් නඩුවට අදාළ චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු ඔවුන්ගේ සාක්ෂිවලින් අනාවරණය වී නැති බව සඳහන් කෙරිණි.
රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී තොරතුරු හෙළිදරව් කර රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් කළ බවට විත්තිකරුට චෝදනා නගා තිබුණත්, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු විත්තිකරු හෙළි කළ බවට කිසිදු සාක්ෂියක් පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බවත් විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කළේය.
විත්තිකරු කළ වැටලීම හේතුවෙන් හමුදා බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකට අනතුරු වූ බවට තොරතුරු ඇතුළත් නම් ලැයිස්තුවක් නඩු විභාගයේදී පැමිණිල්ලෙන් ඉදිරිපත් කළත්, විත්තිකරුගේ ක්‍රියාවෙන් හෙළිවූ සංවේදී තොරතුරු නිසා එම පුද්ගලයන්ට අනතුරු වූ බව සාක්ෂි මගින් තහවුරු වී නැති බව විනිසුරුවරයා සඳහන් කළේය.
සිද්ධියට පාදක වූ සමයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියකට ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට ලැබුණු තොරතුරු විමර්ශන වලට පාදක කරගත් බවට විත්තිකරු කළ ප්‍රකාශ ප්‍රවාදක සාක්කි බවට පැමිණිල්ල සඳහන් කළත්, එම කරුණු සඳහන් කරමින් ඒ සමයේ ප්‍රවෘත්ති පළවී ඇති බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමේදී, මිනීමැරුම් සිද්ධියකට අදාළව කළ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු මත විත්තිකරු නඩුවට පාදක වූ නිවස පරික්ෂා කර ඇති බවත්, ඒ අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් සහ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම ක්‍රියාව නීත්‍යානුකූල ආකාරයෙන් සිදුවී ඇති බවත් විනිසුරුවරයා තීන්දු කළේය.
විත්තිකරුට එරෙහිව රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර නැති බවත් තීරණය කළ විනිසුරුවරයා, ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා විසිදෙකෙන්ම ඔහු නිදොස් කර නිදහස් කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ චමීර හපුතන්ත්‍රී සහ නීතීඥ පසිඳු තිලකරත්න සමග ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval