
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ නීත්‍යානුකූල අනුමැතියකින් තොරව "සම්බාහන ආයතන" හෙවත් "ස්පා" නමින් පවත්වාගෙන යන ස්ථාන 400කට ආසන්න සංඛ්‍යාවක් හරහා ඒඩ්ස් (HIV/AIDS) ඇතුළු බරපතළ ලිංගාශ්‍රිත රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.
සෞඛ්‍ය අංශ මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ වාරියපොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන එක් සම්බාහන ආයතනයක සේවය කරන කාන්තාවකට එච්අයිවී වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වීමෙන් අනතුරුවය. විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, මෙම කාන්තාව පමණක් මේ වන විට එම ස්ථානයට පැමිණි පිරිමින් 300කට අධික සංඛ්‍යාවක් සමඟ ලිංගික සබඳතා පවත්වා ඇති බව සොයාගෙන තිබේ. මේ අනුව ඇය හරහා විශාල පිරිසකට එච්අයිවී වයිරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, මෙම ස්ථාන සම්බාහන ආයතන යන නමින් පවත්වාගෙන ගියද, මේවා සම්පූර්ණයෙන්ම ගණිකා සේවය සපයන ස්ථාන ලෙස ක්‍රියාත්මක වෙයි.
සම්බාහන ආයතන නීත්‍යානුකූල ආකාරයට පවත්වාගෙන යාම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය වුවද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන කිසිදු සම්බාහන ආයතනයක් මෙවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බව අදාළ පරීක්ෂණවලදී සොයාගෙන තිබේ.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති සම්බාහන ආයතනයක රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු රැඳී සිටීම අනිවාර්ය වන අතර, සම්බාහනය සඳහා ආයුර්වේද ඖෂධ භාවිත කළ හැක්කේ අදාළ අනුමැතිය ලබාගෙන තිබෙන අවස්ථාවල පමණි. එහෙත් අනුමැතිය නොමැතිව බොහෝ සම්බාහන ආයතන සම්බාහනය සඳහා ආයුර්වේද ඖෂධ වර්ග භාවිත කරන බවද අනාවරණය වී තිබේ.
මෙම ආයතන "සම්බාහන" නමින් පවත්වාගෙන ගියද, මේවායේ ප්‍රධාන අරමුණ ගණිකා සේවය සැපයීම වන බැවින්, මෙම ආයතන සියල්ලම සමාගම් දෙපාර්තමේන්තුව යටතේ පමණක් ලියාපදිංචිවී මෙම ජාවාරම පවත්වාගෙන යන බවද අනාවරණය වී ඇත.
නීත්‍යානුකූල ක්‍රමයට අනුව, මෙවැනි ස්ථානවල සේවයේ යෙදෙන කාන්තාවන් මසකට වරක්වත් අනිවාර්යයෙන්ම රජයේ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ප්‍රතිකාර ඒකකයෙන් වෛද්‍ය පරීක්ෂාවකට ලක්විය යුතු වුවද, බොහෝ කාන්තාවන් එම පරීක්ෂාව සඳහා ඉදිරිපත් නොවන බැවින් ඒඩ්ස් ඇතුළු බරපතළ ලිංගාශ්‍රිත රෝග පැතිර යාමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එමෙන්ම, මෙම ආයතන රජයේ වෛද්‍ය අංශ විසින් නිරන්තර පරීක්ෂාවට ලක් කළ යුතු වුවද, එවැනි පරීක්ෂණ ක්‍රමවත්ව සිදු නොවන බවද වාර්තා වී තිබේ.
තවත් සැලකිය යුතු කරුණක් වන්නේ වැඩිහිටියන් පමණක් නොව, ළාබාල පාසල් සිසුන් පවා මෙවැනි සම්බාහන ආයතනවලට යාමට පෙළඹී සිටින බවයි. මෑතකදී, කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසලක සිසුවකු කුරුණෑගල නගරයේ ඇති සම්බාහන ආයතනයක සේවය කරන කාන්තාවන් දෙදෙනකු අතින් අතවරයට ලක්වීමේ සිද්ධියක්ද වාර්තා වී තිබේ.
මීට අමතරව, තවත් සම්බාහන ආයතනයක සේවිකාවක් කුරුණෑගල ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධියක්ද වාර්තා වී ඇත.
කුරුණෑගල නගරයේ පමණක් මේ වන විට සම්බාහන ආයතන 65කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මකව පවතින බව සොයාගෙන තිබේ.
වයඹ පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව මෙම ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගත් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාට එරෙහිව එක්තරා සම්බාහන ආයතනයක හිමිකරුවකු විසින් අධිකරණයේ නඩුවක් පවරා තිබීම හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු මේ වන විට අඩාල වී තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන කිසිදු සම්බාහන ආයතනයක් තම දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන නොමැති බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval