
පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ක්‍රියා කරන නාමල් රාජපක්ෂ මහතා සිය දේශපාලන අනාගතය ගොඩනගා ගැනීම සඳහා සිය පක්ෂයේ වත්මන් නායක මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ වැඩිහිටියන් පාවා දීමට ආරම්භ කර ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ඊයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා හිටපු අග්‍රවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයක් මගින් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමින් එය කළ නොයුතුව තිබූ දෙයක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය විශේෂත්වයක් ගන්නේ, ශිරානි බණ්ඩාරනායක මහත්මිය 2013 වසරේදී අග්‍රවිනිසුරු ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටි සමයේ හා බැසිල් රාජපක්ෂ ප්‍රබල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේදී වීම නිසාය. දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපණය රාජපක්ෂ පවුල් පාලනයට හිතකර නොවීම නිසා ඇයව නෙරපා හැරීමට දෝෂාභියෝගය ගෙන ඒම සිදු කළ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මාධ්‍යවේදීන් විසින් "ඔබේ ආණ්ඩුව යටතේ රටේ අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් කටයුතු කරමින් හිටිය ඇයට අවස්ථාව දුන්නේ නැහැ නේද" යනුවෙන් විමසා සිටි විට මන්ත්‍රීවරයා ඊට කණස්සල්ල පළ කළේය.
නාමල් රාජපක්ෂ පැවසුවේ, රාජපක්ෂ ආණ්ඩු සමයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයකින් ඉවත් කිරීමට ගත් තීන්දුව ද වැරදි තීරණයක් බවත්, එවැනි ආකාරයෙන් රාජපක්ෂ ආණ්ඩුව කළ පෙර වැරදිම වත්මන් ආණ්ඩුව ද සිදු නොකළ යුතු බවයි.
"අපි අදටත් විශ්වාස කරනවා, අපෙ ඉතිහාසයේ යම් නිලධාරින් සම්බන්ධයෙන් ගත්ත දේශපාලන තීන්දු වැරදි. ඒ වැරදිවල ඵල විපාක අපි පක්ෂයක් විදිහට අදටත් විඳිනවා. ඒ හින්දා ඉදිරි කාලසීමාව තුළ නිලධාරියෙක් ඉලක්ක කරගෙන දේශපාලන තීන්දුවක් ගන්න පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරනවා නම් ඒකට අපි පෞද්ගලිකවත්, පක්ෂවත් අපි එකඟ වෙන්නේ නැහැ," යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු, "අපේ ආණ්ඩුවෙත් අග්‍රවිනිශ්යකාරිය සම්බන්ධයෙන් ගත්ත තීන්දුව නොවුණා නම් කියන මතයෙන් මම ඉන්නේ. ඒක තමයි මම කියන්නේ අපි කරපු වැරදි මේ අය නොකර ඉන්න ඕනේ. ඒ වැරැද්ද ඒ විදිහටම කරනවා නම් ඒක හරි නෑ" යනුවෙන් ද සඳහන් කළේය.
දේශපාලන විචාරකයින්ගේ මතය අනුව නාමල් රාජපක්ෂ මහතා මෙලෙස රාජපක්ෂ පවුලේ ගත් තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හරහා තම දේශපාලන අනාගතය ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් සිටින බව පෙනේ.
මෙය රාජපක්ෂ පවුල තුළ ආරම්භ වී ඇති නව දේශපාලන තත්ත්වයක් ලෙස අර්ථකථනය කළ හැකිය.
පසුගිය පාලන සමයේ රාජපක්ෂ පවුල ගත් තීරණවල ඵල විපාක තමන්ට අදටත් දරන්නට සිදුවී ඇති බව පිළිගැනීම, නාමල් රාජපක්ෂ මහතා තුළ දේශපාලන පරිණතභාවයක් ඇති බව පෙන්නුම් කරයි. එමෙන්ම පසුගිය රාජපක්ෂ පාලනයේ ගත් වැරදි තීරණ වත්මන් ආණ්ඩුව ද නොගත යුතු බව ඔහු අවධාරණය කිරීම හරහා, නව දේශපාලන ගමන් මගක් කරා යාමට උත්සාහ කරන බව ද දේශපාලන විචාරකයෝ ප‍්‍රකාශ කරති.
අග‍්‍රවිනිසුරු ශිරානි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කිරීම හා වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමට ගෙන එන යෝජනාව අතර සමානතා දකින නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩු පක්ෂය ද එවැනි වැරදි මාර්ගයකට යාම නුසුදුසු බව පෙන්වා දීම, ඔහුගේ දේශපාලන ඉදිරි ගමනේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval