
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට මිලියන ගණනක් මහජනතාවගේ සහභාගිත්වය ඇතිව එකම වේලාවක ආරම්භ වූ කෘෂි බෝගවලට හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනය අති සාර්ථක බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම සංගණනය ජාතික වගකීමක් ලෙස සලකා පෙරේදා (15) පෙරවරු 8.00-8.05 අතර කාලය තුළ පැවති මෙම වැදගත් කාර්යයට දායක වූ රටේ ජනතාවට, නිවාඩු දිනයක් වුවද ස්වේච්ඡාවෙන්ම සහභාගි වූ මහජනතාවට, රජයේ නිලධාරීන්ට, ගොවිජනතාවට, ගොවි නායකයන්ට, පරිසරවේදීන්ට, මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍යවේදීන්ට සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම සංගණනය මඟින් රැස්කර ගත් තොරතුරු සහ දත්ත ඇතුළත් මූලික වාර්තාවක් මෙම මස අවසානයේදී පමණ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා දිනමිණ කළ විමසුමකදී අවධාරණය කළේය.
"නිශ්චිත කාලයක් තුළ පොදු ක්‍රියාවලියකට මහජනතාව එක්වී ජාතික වගකීමක් ඉටු කළා. මමත් වේරගල රජ මහවිහාරයට පැමිණ මේ සංගණනය සඳහා එක්වුණා. ඇතැම් අය ඒ මොහොතේම සංගණන පත්‍රිකාව පුරවා ග්‍රාම නිලධාරීන් වෙත ලබාදී තිබුණා," නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සංගණනය පැවති දිනයේදී අදාළ වේලාව තුළ තම ගෙවත්තේ, වගා බිම්වල, පුණ්‍ය භූමිවල වඳුරන්, රිළවුන්, මොනරුන් සහ දඬුලේනුන් සිටි සංඛ්‍යාව සටහන් කර ඇති සංගණන පත්‍රිකා දැන් ග්‍රාම නිලධාරීන් වෙත ලැබෙමින් පවතින බවයි.
කරුණාරත්න මහතා සඳහන් කළේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් මේ වන සතුන් සිටි සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබීමට සලස්වා ඉන්පසුව ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබීමට සලස්වන බවයි.
"ඉන්පසු අදාළ දත්ත සහ තොරතුරු සටහන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබීමෙන් පසුව ඒවා වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා වූ කමිටුව වෙත යොමු කරනවා. මෙම කමිටුව ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් යොමු කර, සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව වාර්තාවක් සකස් කිරීමට නියමිතයි," යැයි ඔහු පැවසීය.
කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ අදාළ වාර්තාව විශ්ව විද්‍යාල විද්වතුන්, මේ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ ආයතන, පරිසර සංවිධාන, ගොවිජනතාව, ගොවි සංවිධාන, කෘෂි ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ ආයතන, වනජීවී වනසංරක්ෂණ දෙපාර්තමේන්තු, මාධ්‍ය ආයතන ඇතුළු ආයතන ගණනාවකට යොමු කරන්නට බලාපොරොත්තු වන බවයි.
සංගණනයේදී ඇතැම් ප්‍රදේශවල ගොවි බිම්, පුණ්‍ය භූමිවල මෙම සංගණනය සඳහා රජයේ නිලධාරීන් පැමිණියේ නැතැයි ජනතාව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබූ බව සඳහන් කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේ "මේ නිලධාරීන් මෙම සංගණනයට දායක වන්නේ ස්වේච්ඡාවෙන්. අප ඔවුන්ට නියම කර සිටියේ නෑ. ඇතැම්විට ඔවුන්ට පැමිණි පෞද්ගලික බාධාවන් නිසා එදින මෙම කාර්යයට දායක වන්නට නොහැකි වෙන්න ඇති" යනුවෙනි.
කරුණාරත්න මහතා තවදුරටත් සඳහන් කළේ "මෙම සංගණනය හාස්‍යයට ලක්කරමින් ඒ ගැන අදහස් පළ කළ අය නිසා අපට වාසියක් වුණා. එයින් වුණේ ජනතාව, තවත්වත් මේ ගැන අවධානය යොමු කිරීමයි. විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, පර්යේෂකයන් මේ ගැන අවධානය යොමු කර තම දායකත්වය ලබා දුන්නා," යනුවෙනි.
"ඇතැම් ප්‍රදේශවලට අදාළ සංගණන පත්‍රිකාව ලැබී තිබුණේ නැහැ. ඒ අයට අප දැන්වූවේ කොළ කැබැල්ලක අදාළ තොරතුරු සටහන් කර ගෘහමූලික අංකය සහ දුරකතන අංකය ලියා, ග්‍රාම නිලධාරි වෙත ලබාදිය හැකියි" යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බෝගවලට හානි කරන වන සතුන් පිළිබඳ නිවැරදි දත්ත එකතු කර ගැනීමේ ප්‍රථම රාජ්‍ය මට්ටමේ උත්සාහය වන අතර, එමඟින් ගොවිතැන් හා වන සතුන් අතර ගැටුම් අවම කිරීමට සහ තිරසාර විසඳුම් සෙවීමට මඟ පාදනු ඇත.
විශේෂයෙන් රිළවුන්, වඳුරන්, මොනරුන් හා දඬුලේනුන් වැනි සතුන් කෘෂිකාර්මික හානි සිදු කරන ප්‍රධාන වෝහාරිකයන් වන අතර, මෙම සංගණනය මඟින් ඔවුන්ගේ ව්‍යාප්තිය හා සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීමෙන් ඵලදායී කළමනාකරණ ක්‍රමවේද සැකසීමට හැකි වනු ඇත.
ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන වාර්තාව මඟින් මෙම සතුන්ගෙන් ගොවි බිම් ආරක්ෂා කර ගැනීමට මෙන්ම සතුන්ගේ සංරක්ෂණය ද සැලකිල්ලට ගනිමින් තිරසාර විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ.
ජාතික මට්ටමින් පැවති මෙම සංගණනය සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහභාගිත්වය ඉතා වැදගත් වූ අතර, ඔවුන්ගේ දායකත්වය මත රැස් කරන ලද දත්ත මඟින් රට තුළ වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳ සැබෑ තත්ත්වය පිළිබඳ වඩාත් පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ඉතා වැදගත් වන අතර, ගොවි ප්‍රජාවගේ ආදායම් මට්ටම් ඉහළ නැංවීමට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙම සංගණනය මඟින් රැස් කරන දත්ත ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval