mahawilachchiya-venerable-pemarathana-thero

අනුරාධපුර එප්පාවල කිරලෝගම ප්‍රදේශයේ රුක්සෙවණ අසපුවේ වැඩ වාසය කළ හැටනව හැවිරිදි මහවිලච්චියේ පේමරතන හිමිනම අමානුෂික ලෙස කපා කොටා ඝාතනය තිබී හමුවීම සම්බන්ධයෙන් මේ වනවිට අලුත් තොරතුරු කිහිපයක් ලැබී තිබේ.

පොලිස් විමර්ශන අනුව, පේමරතන හිමියන් ඉකුත් 23 වැනිදා රාත්‍රි 8.29ට අවසන් වරට කිසියම් අයකුට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ. පෙරේදා (25දා) පස්වරුවේ 2.30ට පමණ උන්වහන්සේ අසපුව ඉදිරිපිට හාන්සි පුටුවක සිටියදී කිසියම් පුද්ගලයකු විසින් මුහුණ තියුණු ආයුධයකින් කපා විකෘති කොට, අනතුරුව උන්වහන්සේගේ ලිංගේන්ද්‍රය කපා රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මහවිලච්චියේ ප්‍රේමරතන හිමියන් විසින් මෙම අසපුව මීට වසර දහයකට පමණ පෙර ස්ථාපිත කර ඇති අතර, එහි වැඩ වාසය කර ඇත්තේ උන්වහන්සේ පමණි. අසපුව ඉදිකිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ දානපතීන් සම්බන්ධ කරගෙන ඇති බවත්, ගම්වාසීන් හා අසපුවේ හිමිනම අතර කිසිදු සම්බන්ධයක් පවත්වා නොමැති බවත් ගම්වාසීන්ගේ ප්‍රකාශ අනුව අනාවරණය වී තිබේ. ගම්වාසීන් කිහිප දෙනකු හැර කිසිවකු මෙම අසපුවට ගොස් නොමැති බවද වාර්තා වේ.


 පෙරේදා (25 වැනිදා) පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී මෙම ඝාතනය ආරංචි විය.
 විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඇත. එම හිමිනම විසින් ගම්වාසීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා එප්පාවල පොලිසිය දැනුවත් කරනු ලැබ තිබේ.
පොලිස් විමර්ශන අනුව හිමිනමගේ මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබීම නිසා ඝාතනය දින කිහිපයකට පෙර සිදුවූ බවට අනුමාන කරන අතර, ඝාතනයට ලක්වූ හිමිනමගේ හිසෙහි හා මුහුණෙහි බරපතළ කැපුම් තුවාල පවතින අතර, ලිංගේන්ද්‍රය ද කපා ඉවත් කර ඇති බව පොලිසිය පවසයි.
එප්පාවල පොලිසිය විසින් සිදු කරන විමර්ශනවලදී, විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛණ කීපයක් විහාරස්ථානයට කිලෝ මීටර 02 ක් පමණ දුරින් පිහිටි තලාව-එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල කාණුවකට විසි කර දමා තිබියදී සොයාගෙන ඇත.
එසේම ස්වාමීන්වහන්සේ ගමන් බිමන් යාම සඳහා භාවිතා කළ රතු පැහැති ත්‍රිරෝද රථය ද ඝාතකයා හෝ ඝාතකයන් විසින් රැගෙන ගොස් තිබූ අතර පසුව එය රෝහලක් අසළ දමාගොස් තිබි හමුවූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනය සිදුවූ ස්ථානයෙන් පාවහන් යුගල තුනක් සහ වක් පිහියක් සොයාගත් බව පොලිසිය සඳහන් කරන අතර, ඒවා වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් ඇත.

තඹුත්තේගම වැඩ බලන මහෙස්ත්‍රාත් චන්ද්‍රිකා කහටපිටිය මහත්මිය පෙරේදා (25 වැනිදා) රාත්‍රියේ එප්පාවල පොලිසියට දෙන ලද උපදෙස් අනුව, ඝාතනය සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

අධිකරණයේ ස්ථානීය පරීක්ෂණයෙන් පසු, මහෙස්ත්‍රාත්වරිය විසින් මිය ගිය හිමිනමගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒකකයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව අධිකරණය වෙත වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කර ඇත.


එප්පාවල පොලිස් ස්ථානාධිපති මහින්ද රණවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැනට සිදු කෙරෙමින් පවතී. පොලිසිය පැවසුවේ, සැකකරුවන් හඳුනාගැනීම සඳහා උපරිම උත්සාහයක් දරමින් සිටින බවයි.

මේ අතර, වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය විසින් ඝාතනයට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බැවින්, ඝාතකයන් සොයා ගැනීම සඳහා පොලිසිය විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව ද වාර්තා වේ.

අනුරාධපුර ප්‍රදේශයේ මෑත කාලීනව මෙවැනි සාහසික සිදුවීම් වාර්තා වීම සම්බන්ධයෙන් ජනතාව තුළ බියක් ඇති වී තිබේ. විශේෂයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් දූෂණයට ලක්කිරීමේ සිද්ධියට සති තුනකට පසු මෙම ඝාතනය සිදුවීම ජනතාව තුළ ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇති කර තිබේ.

පේමරතන හිමියන්ගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඒ පිළිබඳව තීරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.