kuliyapitiya-man-sets-record-for-largest-single-vehicle-theft-by-stealing-vehicles-from-car-parks

කුලියාපිටිය පොලිසිය විසින් එක් පුද්ගලයකු විසින් සොරකම් කරන ලද විශාලතම රථවාහන තොගයක් පෙරේදා (25 වැනිදා) සොයා ගැනීමට සමත් වී ඇත. මෙම විශේෂ මෙහෙයුම මගින් අධික ලෙස සූදුවට ඇබ්බැහි වී සිටි සැකකරුවකු විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 13ක් සහ යතුරුපැදි 8ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබේ.



කුලියාපිටිය පොලිසියේ විමර්ශන අනුව, අදාළ සැකකරු විශේෂ උපක්‍රමශීලී ක්‍රමවේදයක් අනුගමනය කරමින් රථවාහන සොරකම් කර ඇති බව හෙළි වී තිබේ. සැකකරු පොල්ගහවෙල ප්‍රදේශයේ භාවනා අසපුවක ආගමික වැඩසටහන්වලට සහභාගි වීමේ වෙස් ගනිමින්, එම ස්ථානයේ රථගාලෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරාගෙන ඇත. එපමණක් නොව, කුලියාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල පළාත්බද මහරෝහලේ රථගාල්වල නවතා තිබූ රථවාහන ද ඇතුළුව විශාල රථවාහන ප්‍රමාණයක් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.


විමර්ශනවලින් හෙළි වූ කරුණු අනුව, සැකකරු අධික ලෙස කැසිනෝ සහ සූදු ක්‍රීඩාවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව තහවුරු වී තිබේ. කැපී පෙනෙන කරුණක් නම්, මීට පෙර කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේ සැකකරු පදිංචිව සිටි නිවස ද සූදුවෙන් පරාජය වීමෙන් බැංකුවකට සින්නක්කර වී ඇති බව අනාවරණය වීමයි.

මෙම රථවාහන සොරකම් පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිලි මත පදනම්ව, කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සමඟ එක්ව විශේෂ විමර්ශන මෙහෙයුමක් දියත් කර ඇත. පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී රථගාල් අසල රැඳී සිටිමින්, නවීන තාක්ෂණික ක්‍රමවේද රැසක් ඔස්සේ විමර්ශන පවත්වා ඇත. ආරක්ෂක කැමරා දර්ශන සහ වෙනත් සාක්ෂි ඇසුරින් සංසන්දනය කිරීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සමඟ ඔහුගේ වත්මන් නිවස පරීක්ෂාවට ගිය පොලිසිය, එහිදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක චැසි අංකයට සමාන චැසි අංකයක් සහිත ත්‍රිරෝද රථයක් සොයාගෙන ඇත. මෙය තවදුරටත් විමර්ශනය කිරීමෙන් අනතුරුව අදාළ රථවාහන තොගය පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, ඔහු පොල්ගහවෙල අසපුවට නිරන්තරව ගොස් ඇති බවත්, එහි ශීල ව්‍යාපාර භාවනා කටයුතු අවසන් වූ පසු එම ස්ථානයෙන් ද ත්‍රිරෝද රථ හා යතුරුපැදි කිහිපයක් සොරාගෙන ඇති බවත් පිළිගෙන තිබේ. ඊට අමතරව, නාරම්මල, පොල්ගහවෙල මහමෙව්නාව, මාරවිල ආදී ප්‍රදේශවලින් ද ත්‍රිරෝද රථ හා යතුරුපැදි සොරාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත. සැකකරුගේ තොරතුරු මත පදනම්ව, තිහාරිය, කළගෙඩිහේන, දංකොටුව, කොස්වත්ත, වේයන්ගොඩ, මීරිගම ආදී ප්‍රදේශවලට විකුණා තිබී ත්‍රිරෝද රථ 13ක් හා යතුරුපැදි 8ක් සොයාගැනීමට පොලිසියට හැකි වී තිබේ.


පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනවලදී, සැකකරු රෝගීන්ගේ සුවදුක් බැලීමට රෝහල්වලට පැමිණෙන විට විශේෂ උපක්‍රමයක් භාවිතා කර ඇති බව හෙළි වී තිබේ. ඔහු තම යතුරුපැදිය හැඬල අගුළු දමා නවතා, රෝගීන් බැලීමට පැමිණි අනෙක් පුද්ගලයන්ගේ වාහන සොරාගෙන, පසුව බස්රථවල පැමිණ ඔහුගේ යතුරුපැදිය ආපසු රැගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සොරකම් තවත් සංකීර්ණ කරන කරුණක් වන්නේ, සොරාගත් ත්‍රිරෝද රථවල පැහැය සහ හැඬය වෙනස් කිරීම මෙන්ම චැසි අංක නැවත අංකනය කිරීම ද සිදු කර ඇති බවයි. පොලිසියේ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ පරිදි, ඇතැම් ත්‍රිරෝද රථ අලුතින් චැසි අංකනය කර, ඒවාට නීත්‍යානුකූල ලේඛන පවා සකසා, කල්බදු පහසුකම් ද ලබාගෙන ඇත. මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කරන්නේ මෙම සොරකම් ජාලය පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බවයි.

සැකකරු සහ අත්අඩංගුවට ගත් වාහන සමඟින් කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එමෙන්ම, මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිටීද යන්න පිළිබඳව ද වැඩිදුර විමර්ශන මෙහෙයවන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

පොලිසිය සැකකරු සමඟ සොයාගත් වාහන අතර, සමහර වාහන ඒවායේ සැබෑ හිමිකරුවන්ට ආපසු භාර දීමට කටයුතු කරමින් සිටින අතර, එම වාහනවල සත්‍ය හිමිකරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය ද සිදු කරමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.


කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ සහ සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත්ගේ උපදෙස් මත, කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායකගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා පිහිටුවා තිබිණි. අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත සේනානායක, ගාමිණී ජයලත්, පොලිස් සැරයන්වරුන් වූ ප්‍රේමරත්න (31201), නිශාන්ත (53315), තෙන්නකෝන් (68384), දේශප්‍රිය (35176), ජයරත්න (21449), රංජිත් (59933), කොස්තාපල්වරුන් වූ අත්තනායක (87743), හපුආරච්චි (79909) සහ කාන්තා කොස්තාපල් දර්ශනා (2950) යන නිලධාරීන් මෙම දීර්ඝ විමර්ශනයේ නියැලී සිටියහ.

මෙම සිද්ධිය හා සම්බන්ධව, පොලිසිය ජනතාවට අවවාද කරන්නේ වාහන නවතා තැබීමේදී අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසයි. විශේෂයෙන්ම රෝහල් වැනි පොදු ස්ථානවල වාහන නවතා තැබීමේදී අතිරේක ආරක්ෂක උපකරණ භාවිතා කිරීම වැදගත් බව පොලිසිය අවධාරණය කරයි. රෝහල්වල සහ ආගමික ස්ථානවල රථගාල්වල අමතර ආරක්ෂක කැමරා පද්ධති ස්ථාපිත කිරීම සඳහා පියවර ගැනීමට අදාළ බලධාරීන් කටයුතු කරන බව ද වාර්තා වේ.