
අද දින 7.7 ක දැවැන්ත භූමිකම්පාවක් සිදුවූ පසු 2021 හමුදා කුමන්ත්රණයෙන් පසු මියන්මාරය පාලනය කරන හමුදා ජුන්ටාව විසින් සගයින්, මැන්ඩලේ, මග්වේ, බාගෝ, නැගෙනහිර ෂාන් ප්‍රාන්තය සහ නේපිඩෝ යන ප්‍රදේශවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් සැලකිය යුතු හානි සිදුවී ඇති නමුත් විවිධ හේතු නිසා තොරතුරු වාර්තාවී ඇත්තේ අවම වශයෙනි. මියන්මාරයේ වෙනුවට තායිලන්තයේ බැංකොක්හි සිදුවූ විනාශය විදෙස් මාධ්‍ය වෙත ගමන් කර ඇති නමුත් දැනගන්නට ලැබෙන පරිදි මියන්මාරයේ විනාශය අති විශාලය.
භූමිකම්පාව සිදුවූ මැන්ඩලේ ප්‍රදේශය එරට සංචාරක ගමනාන්තයක් වන බෞද්ධ සිද්ධස්තාන හා නටබුන් විශාල වශයෙන් ප්රකටව ඇති ප්රදේශයකි.
එම සිද්ධස්ථානද විනාශ වන්නට ඇතැයි අනුමාන කෙරේ.
ක්‍රි.ව. 1785 දී නිමවන ලද මහමුණි බෞද්ධ විහාරය පිහිටා ඇත්තේද මැන්ඩලේ හිය.
නිල නොවන වාර්තා අනුව මෙම භූමිකම්පාව හේතුවෙන් නගරයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීම සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට හානි සිදුවී ඇත.නගරයේ ප්‍රධාන රෝහලක් දැඩි ලෙස හානියට පත් වී ඇති අතර, එහි හදිසි අනතුරු අංශය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් සිය ගණනක් තුවාලකරුවන් එළිමහනේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. එක් වාර්තාවකට අනුව රෝහලේ 13 දෙනෙකු මියගොස් ඇත.
ප්‍රදේශයෙන් ලැබෙන දර්ශන හා වාර්තා අනුව, වසර 90ක් පැරණි පාලමක් කඩා වැටී ඇති අතර, මැන්ඩලේ සිට යංගූන් දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කොටස්වලට ද හානි සිදුවී ඇත. මීට අමතරව, මැන්ඩලේ හි පිහිටි හිටපු රාජකීය මාළිගාවේ කොටස්වලට ද හානි සිදුවී ඇත.
භූමිකම්පාවේ ගැඹුර ආසන්න වශයෙන් කිලෝමීටර් 9.6ක් (සැතපුම් 6ක්) පමණ වන මෙම භූමිකම්පාව වඩාත් තීව්ර කම්පනයක් සහ පුළුල් හානියක් ඇති කිරීමට හේතු වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ඡායාරූප මගින් හානියට පත් ව්‍යුහයන් සහ ගඟකට කඩා වැටුණු පාලමක් පෙන්නුම් කරයි.
ජුන්ටා රජයක් පැවතීම හා දරිද්‍රතාව මත අවම පහසුකම් හේතුවෙන් මියන්මාරයේ ඇතැම් ස්ථාන ගැන දැනගන්නට ලැබෙන හැකියාවන් අවමය.
විදුලිය හා අන්තර්ජාල මාර්ග බිඳවැටීම හේතුවෙන් රතු කුරුස සේවා කණ්ඩායම්වල ආධාර ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියට බාධා ඇති වී තිබෙන බවද වාර්තා කර තිබේ.
හමුදා ජුන්ටාව විසින් හානි විමර්ශනය කිරීමට සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, 2021 සිට මියන්මාරය පාලනය කරන හමුදා ජුන්ටාව තොරතුරු ප්‍රවේශය දැඩි ලෙස සීමා කර ඇති අතර, රේඩියෝ, රූපවාහිනී, මුද්‍රිත හා මාර්ගගත මාධ්‍ය මත තද පාලනයක් පවත්වාගෙන යයි.
අන්තර්ජාල භාවිතය ද සීමා කර ඇති අතර සන්නිවේදන මාර්ග අක්‍රිය වී ඇති බව පෙනී යයි, BBC විසින් රට තුළ සිටින ආධාර ආයතන සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළද අසමත් වී ඇතැයි දන්වා තිබේ.
මැන්ඩලේ ගුවන් තොටුපොළේදී ගත් බවට කියැවෙන තහවුරු නොකළ වීඩියෝවක, භූමිකම්පාවෙන් කෙටි කාලයකට පසු මිනිසුන් බිම දණගසා සිටින අයුරු පෙනේ. පසුබිමේ ගුවන් යානයක් දිස්වන අතර, "වාඩි වෙන්න! දුවන්න එපා!" යන කෑගැසීම් ඇසිය හැකිය. ජාත්‍යන්තර මාධ්‍ය විසින් මියන්මාරයෙන් තොරතුරු රැස් කිරීමට සහ මාර්ගගතව බෙදාහදා ගත් දර්ශන සත්‍යාපනය කිරීමට උත්සාහ කරමින් සිටී.
මානුෂීය ආධාර සංවිධානවලට අනුව, මැන්ඩලේ සහ සගයින් ප්‍රදේශවල විදුලිය සහ ජාල මාර්ග බිඳවැටී ඇති නමුත්, රතු කුරුස සංවිධානය හානියට පත් ප්‍රදේශවල "මානුෂීය අවශ්‍යතා" පිළිබඳ තොරතුරු රැස් කිරීම දිගටම කරගෙන යන බව ප්‍රකාශ කර සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval