
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (20) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ලබන ජූලි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි.
මෙම ප්‍රකාශය කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂ දහයට අඩු තැන්පතු සඳහා අමතර සියයට තුනක තැන්පතු පොලියක් ලබා දීමට අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇති බවයි.
මහාචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රකාශයට අනුව, මෙම නව පොලී යෝජනා ක්‍රමය වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාළ වේ. එක් තැන්පත්කරුවකුට බැංකු කිහිපයක තැන්පතු තිබුණද,
උපරිම තැන්පතු මුදල ලක්ෂ දහයක් දක්වා පමණක් මෙම පහසුකම වලංගු වන බව ඔහු පැහැදිලි කළේය.
අයවැය යෝජනාවේ මෙසේ සඳහන්වේ.
"ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මෙම යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා රුපියල් මිලියන 1 ක් දක්වා වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතවලට වඩා සියයට 3 ක වාර්ෂික අතිරේක පොලී අනුපාතයක් ලබාදීමට යෝජිතය. මෙම යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3 ක අමතර පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීමට රජය යෝජනා කරන අතර මෙය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත."
නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, "තැන්පත්කරුවන්ගේ මුදල් ලක්ෂ දහය නොඉක්මවන තාක් කල් බැංකු කිහිපයක වුවද මේ ස්ථාවර තැන්පතු විවෘත කළ හැකි" බවයි. මෙම විශේෂ යෝජනා ක්‍රමය වසරක කාලයක් ක්‍රියාත්මක වන අතර, ලැබෙන පොලිය මාසිකව ආපසු ලබාගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රජයේ ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී වට්ටම් ලබාගත හැකි බවයි. ඔහු පැවසූ පරිදි,
කාඩ්පත් භාවිතයෙන් ඖෂධ මිලදී ගන්නේ නම් සියයට තුනක වට්ටමක්ද, මුදල්වලින් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට පහක වට්ටමක්ද ලැබෙනු ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම කරුණ සම්බන්ධයෙන් තම අදහස් දක්වමින් කියා සිටියේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී අනුපාත කපා හැරීම නිසා ඔවුන් අර්බුද රැසකට මුහුණ දී සිටින බවයි.
"ඔවුන් අවශ්‍ය බෙහෙත් ටික ගත්තේ මේ මුදලින්. මං මේ කතා කරන්නේ අධි පොහොසතුන් ගැන නොවෙයි. මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගැන," යනුවෙන් ඔහු අවධාරණය කළේය.
විපක්ෂ නායකයා තවදුරටත් ප්‍රශ්න කළේ, "තැන්පතු සඳහා අයකර ගන්නා රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය කොපමණද?" යන්නයි. ඔහු පැවසුවේ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වත්මන් තත්ත්වය යටතේ දැඩි අපහසුතාවට මුහුණ දෙන බවයි.
ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසුවේ, "ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ දෙනකු අද ගත කරන්නේ බොහෝ දුෂ්කර ජීවිතයක්. යහපාලන ආණ්ඩුව පමණක් නොව බොහෝ රජයන් සියයට පහළොවක ප්‍රතිශතයක් දුන්නා. එය අවලංගු කළේ පසුගිය රජය සමයේදී. ලක්ෂ විස්සක තැන්පතු දක්වා මෙම පොලි අනුපාතය ක්‍රියාත්මක විය යුතුයි," යනුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval