Piyumi-hansamali-the-fact-that-the-2000-cream-was-sold-for-33000-rupees-is-still-a-mystery

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ සම පැහැපත් කරන ආලේපන ව්‍යාපාරය සම්බන්ධ කථාබහ නැවත මතුවී තිබෙන්නේ ඇය මුදල් විශුද්ධකරණ නඩුවක චෝදනාවකට ලක්ව ඇති හෙයිනි. ඊයේ (19) අධිකරණයේදී මේ ගැන නැවත සලකා බැලුණ අතර පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට එහිදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශන අනුව කරුණු ඉදිරිපත් විය.
 ඇය ක්‍රීම් වර්ග අලෙවි කරන දේශීය ආයතන දෙකකින් රුපියල්, 2000, 3000, 5000, හා 6000ක මුදලකට මිලදී ගෙන ඒවා නැවත ඇගේ සන්නාමය යටතේ ඇසුරුම් කර ඇති බව ආයතන දෙකෙහි සේවකයන් දන්වා ඇති අතර රුපියල් විසි අට දහසේ සිට තිස් තුන්දහසක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර ඇත.
සමාජ මාධ්‍ය තුළ මිලියන ගණන් සාමාජිකයින් පිරිවරාගෙන සිටින පියුමිට 'රටින් ගෙන්නූ ක්‍රීම්' කියමින් 'පියුමි ස්කින්' නමින් මෙම ආලේපන විකුණාගැනීමේ ශක්‍යතාවයක් ඇති නමුත් මෙම ව්‍යාපාරික මොඩලය ඔස්සේ ඇය විශාල වශයෙන් ක්‍රීම් විකුණාගෙන තිබෙද යන්න මෙම විමර්ශනයේදී සැක මතු විය.
ඇය විසින් ව්‍යාපාර නාම හතරකින් ලියාපදිංචි කර මෙම ව්‍යාපාරය සිදුකර ඇති අතර ලැබෙන ඇණවුම් ඔස්සේ ඒවා බෙදාහැරීම සිදු කර ඇත්තේ කුරියර් සමාගමක් හරහාය.

 පියුමි හංසමාලිට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ කරන විමර්ශනය අතරතුර ඇය මාධ්‍ය වෙත පැමිණ කියා සිටියේ තමා සියල්ල හම්බ කරේ අහිංසක ලෙස ඉගෙන ගත් දෙයකින් බවත් ඒ ක්‍රීම් ව්‍යාපාරයක් නිසා බවත්ය.
එම ව්‍යාපාරයේ විශාල අලෙවියක් සිදු කළ තමා රුපියල් 35000 බැගින් ක්‍රීම් පැක් 25000 ක් අලෙවි වූ බවත්ය. ඒ ආශ්‍රිත බිල් පොහොර මළු ගණනාවක දමාගෙන තමා සීඅයිඩීයට පෙන්වන්නට රැගෙන ආ බවත්ය.
ඒ අනුව ඒ බිල්පත් අඩංගු ලිපි ගොනුද ඇය වාහනයේ ඩිකිය හැර මාධ්‍යවේදීන්ගේ කාමරාවට යොමු කළාය. කෙසේ වෙතත් ඇයට එදින සීඅයිඩියේ ප්‍රශ්න කිරීමක් නොකෙරුණ අතර ඇය එතැනින් ගියේ තමා ඊළඟට 'ප්‍රයිවෙට් ජෙට්' එකක්ද අරගෙන පෙන්වන බව කියමිනි.
කෙසේ වෙතත් 'ලොලියා' යන සමාගම යටතේ 'පියුමි ස්කින්' නමින් ඇයගේ සම සුදුකරන ක්‍රීම් වර්ග ඇතුළු නිෂ්පාදන බෙදාහැරීම් කළ කුරියර් සේවා ආයතන දෙකක් ගෙන්වා කළ ප්‍රශ්න කිරීමේදී ඇයගේ 'ක්‍රීම් පැක්' අලෙවි වූයේ 3500 ක පමණ ප්‍රමාණයක් පමණක් බව පවසා ඊට අදාළ රිසිට් පත් ඉදිරිපත් කර ඇති අතර ඇය පවසා තිබූ 25000 ගණනට බවා බෙහෙවින් අඩු ප්‍රමාණයක් විය.

පියුමි හංසමාලි කුරියර් ආයතන දෙකක් හරහා මෙම ක්‍රීම් වර්ග අලෙවි කර තිබූ අතර ආයතන ප්‍රධානීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‍‍කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණ කර ඇත.
ඒ අනුව එම ක්‍රීම් අලෙවියෙන් තමන් රුපියල් කෝටි 87ක් උපයා ගත් බව පියුමි කියා තිබුණත් දැන් හෙළිවන්නේ පියුමිගේ එකම ආදායම ලෙස සඳහන් කළ ව්‍යාපාරයේ ක්‍රීම් අලෙවියෙන් ඇය උපයා ඇත්තේ කෝටි 12 ක් පමණක් බවයි.
එය වසර කිහිපයක ආදායම පමණක් වන අතර ලාභය නොවේ. ඇය ක්‍රීම් ආනයනය කළ ස්ථානයට ඇසුරුම් කළ ස්ථානයට සහ බෙදාහැරීම් ඇතුළු අනෙක් වැඩ වෙනුවෙන් කෝටි 12න් කොටසක් වැයකළ මුදල සැලකීමේදී ඒ ගණන් අඩුවිය යුතු අතර එලෙස ගණනය කළවිට ලැබී ඇති ලාභය ඇය ගත්තා යයි කියන වාහන ගෙවල් වලට වඩා බෙහෙවින් අඩු විය යුතුයයි අනුමාන කෙරේ. පියුමි ඒ අනුව අපරාධ පරීක්ෂණය සඳහා ගෙන එන්නට ඇත්තේ කූඨ ලේඛනද යන්න ගැනද සැකයක් මතුවේ.
පියුමිගේ ආයතනය ලියාපදිංචි කර තිබුණද ආලේපන මෙරට ලියාපදිංචි කර තිබුනේද නැති නිසා සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ගැටලුවකටද ඇය මුහුණපානු ඇත.

පියුමි මින් ඉහත පවසා තිබුනේ දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයාගෙන ඇති බවකි. මේ ව්‍යාපාරයෙන් ලද ආදායම්වලින් ඇය රුපියල් ලක්ෂ 700කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ජීප් රථයක් හා රුපියල් ලක්ෂ 280කට අධික වටිනා මෝටර් රථයක් ද මිලදී ගෙන ඇති බවත් කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1400කට අධික වටිනා නිවසක් ද ඇය මිලටගත් බවත් පවසා ඇත.
කෙසේ වෙතත් ඇය විසින් සත්‍යවශයෙන්ම මෙම ක්‍රීම් වර්ග අලෙවියෙන්ම මුදල් උපයාගෙන ඇති ද යන්න ප්‍රහේලිකාවක්වී තිබේ.

මෙලෙස වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ ඇය විසින් නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන මුදල් උපයාගැනීමක් සිදුකර තිබේද යන්න පිළිබඳ මගෙන් රටට සංවිධානය විසින් පසුගියදා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුකෙරිණි.

කෙසේ වෙතත් මේ නඩුවට චෝදනාවට ලක්වූ පියුමි ඉතා උනන්දුවෙන් සහභාගීවන අතර ඇය හැමවිටම මාධය වෙතද පවසන්නේ තමා අත වරදක් නැති කතාවකි.
ඇය මින් ඉහත නඩුවාරයේදී තමාගේ ව්‍යාපාර කටයුතු වලට මේ චෝදනාව ගැටලුවක් යයිද කියා තිබුණි.
පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායිකාවගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කිරීම හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට බාධා පැමිණ ඇති බවයි.
මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය. අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සිය සේවා දායිකාවට සිදුවන අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මෙම විමර්ශන නිලධාරීන් පියුමි හංසමාලී නමැත්තිය පදිංචි කොළඹ 07 වෝඩ් පෙදෙසේ නිවසට ගියත් පදිංචි නිවස සම්බන්ධයෙන් කිසිදු ව්‍යාපාරික ලේඛනයක් ඇය සතුව නොතිබු බවත් එවැනි ලේඛනයක් සොයා ගැනීමට නොහැකි වූ බවත් අධිකරණයේදී පවසා ඇති නීතිඥ දිනේෂ් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි මින් ඉහත අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතරවාරයේ රුපියල් කෝටි හයක පමණ කුෂ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නාවල දෙමහල් නිවෙසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඉකුත් ජුලි 5 වැනිදා පොලිස් භාරයට ගැනිණි.

ඒ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනවලදී,
එම මෝටර් රථය පියුමි හංසමාලි නමැත්තියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.

පසුගිය මාස කිහිපය තුළ විවිධ ආයතන මගින් ලබාගත් තොරතුරු, ඇයගේ බැංකු ගනුදෙනු, සහ ඇය විසින් ලබාදී ඇති ප්‍රකාශ අතර පරස්පරතා ඇති බවත් එම සාක්ෂි හරහා ඇය විසින් ලබාදී ඇති ප්‍රකාශවල සත්‍යතාවය පිළිබඳ බරපතළ ගැටලු මතුව ඇති බවත් පරීක්ෂණ ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කරන මෙම විමර්ශනයේදී, ඇයගේ ආදායම් ප්‍රභව, බදු ගෙවීම් සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.

රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය රාමුව දුර්වල වීම හේතුවෙන් මෙවැනි ව්‍යාපාර නියාමනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බාධා පැමිණ ඇති බව පෙනී යයි. සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් සම්බන්ධයෙන් පවතින ගැටලු මධ්‍යයේ, පියුමි හංසමාලි විසින් අලෙවි කරනු ලබන ආලේපන මෙරට නිසි ලෙස ලියාපදිංචි කර නොමැති බව හෙළි වී ඇත.