cid-probe-against-former-presidents-wife-shiranthi-rajapaksa

අයථා ඉඩම් ගනුදෙනු දෙකක් සම්බන්ධව හෙළිදරව් කරමින් හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) මගින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


ගම්පහ ඉහළ යාගොඩ ඉඹුල්ගොඩ අක්කර ගණනාවක ඉඩමක පිහිටා ඇති "නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානය" නමැති පුවරුවක් සවිකළ ස්ථානය තුළ කිසිම ආගමික කටයුත්තක් සිදුවන බවට වාර්තා නොවන බවත් එය මහින්ද රාජපක්ෂ සමයේ ජනපති කාර්යා‍ල නිලධාරීන් යොදවා ඉඩම් රාශියක් මිලට ගෙන පුළුල් කර පිහිටවූ ස්ථානයක් බවත් නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය. ඔහු පසුගියදා පිරිසක් සමග එම ස්ථානයට ඇතුලුවන්නට උත්සාහ කරද්දී එය වළක්වා තිබූ අතර පසුව ඒ ගැන සොයා බලන බව දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එතැනින් පිටව ගොස් තිබුණි.
ඒ ගැන සොයා බැලීමෙන් පසු අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ ගැන වැඩි විස්තර ඔහු හෙලි කලේය.

 නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ඉඩම පන්සලකට අයත් නොවන බවයි.
"මෙම ඉඩම මහින්ද රාජපක්ෂ ආධ්‍යාත්මික පදනමට අයත් වෙනවා. මෙම ඉඩමේ ඇතැම් කැබලි රුපියල් 500,000ක මුදලකට මිලදී ගෙන රුපියල් මිලියන 10කට විකුණා තිබෙනවා. ඉඩම් කොටස් රැසක හිමිකාරිය තංගල්ල කාල්ටන් හවුස් හි පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ නමැත්තියි. ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ තවත් ඉඩමක් රුපියල් මිලියන 1කට මිලදී ගෙන රුපියල් මිලියන 12කට විකුණලා" යැයි නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

"මෙම ඉඩම් ගනුදෙනු සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස මම සීඅයිඩී එකෙන් ඉල්ලා සිටියා," යැයි ඔහු එකතු කළේය.
තවද කැලණිය ප්‍රදේශයේ ඉඩමකට ඔහු පැමිණි සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වැරදි වාර්තාකරණයක් සිදු කර ඇති බවද ඔහු පැවසීය.


පාර්ලිමේන්තුවේදී තවදුරටත් කතා කරමින් මහින්ද ජයසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය:
"2012 මාර්තු 12 වන දින මේ ඉඩම් ගණනාවක් අත්පත් කරගෙන තිබෙනවා. එක් ඉඩමක් තිබෙනවා ඉඹුල්ගොඩ ඉහළ යාගොඩ, කේ.ඩී. පරාක්‍රම යාගොඩ කියන මහත්මයාට අයිති. එම ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සහ ආධ්‍යාත්මික සංවර්ධන පදනමටයි."
"රුපියල් ලක්ෂ පහකට ගත් මේ ඉඩම පසුව රුපියල් ලක්ෂ දහයකට විකුණා තිබෙනවා. ඒ වගේම 2012 මාර්තු 2 වන දින තවත් ඉඩම් ගණනාවක් අත්පත් කරගෙන තිබෙනවා."
"එක් ඉඩමක් තිබෙනවා ඉහළ ඉඹුල්ගොඩ නොම්මර 317 පදිංචි කරුවන් තුනකට අයිති ඉඩමක්. මෙම ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ තංගල්ල පාර කාටුන් හවුස් නොම්මර 19 පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ කියන කෙනෙකුට"
"තවත් ඉඩමක් තිබෙනවා මාකොළ පාර උතුර තැඹිලි ගස් මුල පදිංචි අයෙකුට අයත් ඉඩමක්. එම ඉඩමත් අත්පත්කරගෙන තියෙන්නේත් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියයි. ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය 535253314V වශයෙන් සඳහන් වී තිබෙනවා."
"ගරු කථානායකතුමනි, මේ ඉඩම් සියල්ලේ ඔප්පු මෙතන තිබෙනවා. මම මේ සියලු ඔප්පු සභාගත කරනවා. මේ ඔප්පු කිසිවක පන්සලක හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ නමක් සඳහන් වන්නේ නැහැ."


" මේ සියළුම ඉඩම් 2023 ඔක්තෝබර් 10 වන දින නැවත පවරා ලියලා දීලා තිබෙනවා. ඔප්පුවල සඳහන් වන්නේ නොම්මර 132A, එස්.ද.එස්. ජයසිංහ මාවත, නුගේගොඩ පදිංචි අමිල සමරරත්න කොඩිකාර කියන මහතෙකුට ලියලා දීලා තිබෙන බවයි. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 900226035V ලෙස සඳහන් වෙනවා."

"ප්‍රශ්නය තමයි මේ රුපියල් ලක්ෂ පහට හා දහයට ගත්ත ඉඩම් රුපියල් ලක්ෂ එකසිය විස්සට විකුණලා තිබෙන්නේ. 2012 දී ගත්ත ඉඩම්, අවුරුදු 11ක් ගියපු තැන, රුපියල් ලක්ෂ පහට ගත්ත ඉඩම රුපියල් ලක්ෂ එකසිය විස්සට, රුපියල් ලක්ෂ දහයට ගත්ත ඉඩම රුපියල් ලක්ෂ එකසිය විස්සට, අමිල සමරරත්න කොඩිකාර කියන මහත්මයාට පවරලා තිබෙන්නේ."
එලෙස මුදල් උපයාගැනීම ගැන ගැටලු තිබෙනවා. මේ නිසා තමයි ඒ ප්‍රදේශවාසීන්ට බරපතල ප්‍රශ්නයක් තිබුණේ මේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව. සමහර ඉඩම් ලියලා තියෙන්නේ අරලියගහ මන්දිරයට ගෙනල්ලා, අරලියගහ මන්දිරය තුළ තමයි මේ ඉඩම් පිළිබඳ ඔප්පු ලියලා තියෙන්නෙ.
කිසිදු ලෙසකින් අපිට පන්සල්වලට අත පොවන්න හෝ මැදිහත්වෙන්න කිසිදු උවමනාවක් නැහැ.
"නමුත් මේ ඔප්පුවලින් ඉතාම පැහැදිලි වෙනවා මේ ඉඩම් කිසිවක් පන්සලකට හෝ ස්වාමීන් වහන්සේ නමකට හිමිකාරීත්වයක් නැති බව. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා 'බෞද්ධ මධ්‍යස්ථානය' කියලා." මේක රැවටීමක් විශුද්ධිකරණය සම්බන්ධ සැක මතුවන තැනක්.
"මට අවශ්‍ය වුණේ ඉඩම් වල ඇත්ත කතාව සමාජයට ඉදිරිපත් කරන්නයි.  මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා මේ සම්බන්ධයෙන් සීඅයිඩී විමර්ශනයක් කරන ලෙස. "
සම්බන්ධිත පෙර ලිපිය
නියෝජ්‍ය ඇමති ගියත් දොර නොඇරිය මහින්ද ආගිය ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානය